Thursday, May 30, 2019

ප්‍රජා මූලික පුනරුත්ථාපනය යනු කුමක්ද?


ප‍්‍රජා මූලික පුනරුත්ථාපන ක‍්‍රියාවලිය සහ එය සිදු කරන අකාරය පිළිබඳව විවිධ නිර්වචන සහ අදහස් පවතී. ඒ අනුව ප‍්‍රජා මූලික පුනරුත්ථාපනය යනුවෙන් සරලව අදහස් කරන්නේ සමාජ විරෝධී ක‍්‍රියාවකට හෝ යම් කායික හෝ මානසික දුර්වලතාවයකට ලක්ව ඇති පුද්ගලයා ප‍්‍රජාවේ මූලිකත්වයෙන් එයින් සම්පූර්ණයෙන්ම හෝ යම්තාක් දුරකට මඟ හරවාගෙන ඵලදායී වැඩපිළිවෙළකට යොමු කරගැනීමේ ක‍්‍රියාවලියයි.

පුනරුත්ථාපනය නිර්වචනය කරන එක්සත් ජාතීන්ගේ මූලාශ‍්‍ර තොරතුරු ග‍්‍රන්ථය (The United Nations Resource Book) එය මෙසේ දක්වයි. පුනරුත්ථාපනය යනු සමාජයේ එකම වයස් කාණ්ඩයන්ට අයත් පුද්ගලයන් හා සමාන ලෙස තම අයිතිවාසිකම්වලට උරුමකම් කීමටත්, එවැනි අවස්ථාවන් උදා කර ගැනීමටත් පුද්ගලයන් හට කායික හා භෞතික ලෙස මනෝවිද්‍යාත්මකව සහ සමාජීය ලෙස උපකාර කිරීමේ ක‍්‍රියාවලියයි”. ප‍්‍රජාවේ සහයෝගයෙන් තොරව මෙම ක‍්‍රියාවලිය සාර්ථක කරගත නොහැකි බවද දක්වයි. මේ අනුව ප‍්‍රජා මූලික පුනරුත්ථාපනය වැදගත් සමාජමය උපකාර කිරීමේ ක‍්‍රියාවලියක් බව පැවසිය හැකිය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වාදෙන ආකාරයට ප‍්‍රජා මූලික පුනරුත්ථාපනය යනු පුද්ගලයා වඩා උසස් ජීවන මට්ටමේ ක‍්‍රියාකාරී අවස්ථාවන් හට පුහුණු කිරීම හෝ නැවත පුහුණු කිරීමේ අධ්‍යාපන, සමාජීය හා වෘත්තීමය වැඩපිළිවෙළවල් සම්බන්ධීකරණය කිරීම සහ එක්සත් කිරීම යි”.


වර්තමානය වන විට ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ප‍්‍රජා මූලික පුනරුත්ථාපනය සඳහා වැඩසටහන් සහ සේවා සපයන ආකාරයක් දක්නට ඇත. ඒ අනුව මූලික වශයෙන් පුනරුත්ථාපනය අවශ්‍ය පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම, පවුල සහ තමා ජීවත්වන ප‍්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවයක් දක්වන අතර ඔවුන් සමාජීය වශයෙන් උපකාර කරනු ලබයි. ඊට අමතරව වැඩසටහන් සැලසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා ක්‍ෂේත‍්‍රයට අදාළව විවිධ ආයතන සම්බන්ධ වෙයි. සමාජ සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය, කම්කරු හා වෙනත් අංශ හා සම්බන්ධ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන පුනරුත්ථාපනයට සහාය දක්වන සේවා පද්ධතියෙන් ප‍්‍රමුඛ ආයතන කීපයක් වෙයි. සමාජීය උපකාර නොමැතිව සමාජයේ පීඩාවට පත් වූ සමාජ කණ්ඩායම්වලට හුදෙකලාව නැඟී සිටිය නොහැකි බැවින් ආයතන මඟින් සැපයෙන සේවාවන් ප‍්‍රජා මූලික පුනරුත්ථාපනයේ අත්‍යවශ්‍ය කොටසකි.

පුනරුත්ථාපනය සැපයීමේ විවිධ ආකාරයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ආකාර කීපයක් හඳුනාගත හැකිය. එනම්
  •      ආයතන තුළ සිදු කරන පුනරුත්ථාපනය                             
  •      ප‍්‍රජාව වෙත පැමිණ  ලබා දෙන පුනරුත්ථාපනය යනුවෙනි.

වර්තමානයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම ක‍්‍රමයන් දෙකම සිදු කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රජා පුනරුත්ථාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් සහ ජාතික වශයෙන් ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන වැදගත් භූමිකාවක් ඉටු කරයි. වර්තමානයේ ආයතන මුල් කොටගත් පුනරුත්ථාපනය සඳහා විශේෂ කුසලතා ඇති වෘත්තීයවේදීන්ගේ හිඟය ප‍්‍රජා මූලික පුනරුත්ථාපනය මුහුණපාන ගැටලූවක් බවට පත් ව ඇත. එමෙන්ම මෙම සේවාවන් බොහෝ දුරට නාගරික ප‍්‍රදේශවල ව්‍යාප්ත වී පවතින අතර ග‍්‍රාමීය ප‍්‍රදේශවල වෙසෙන ප‍්‍රජාව සඳහා අවධානය යොමු වන්නේ මද වශයෙනි. එබැවින් ප‍්‍රාද්ශීය විෂමතාවලින් තොරව ප‍්‍රජා මූලික පුනරුත්ථාපනය කි‍්‍රයාවට නැංවිය යුතු ය.

ප‍්‍රජා මූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක ලක්ෂණ පහත සඳහන් ආකාරයට පෙළ ගැස්විය හැකිය.
  •  වැඩපිළිවෙළ සඳහා නායකත්වය තෝරාගැනීම
  • වැඩපිළිවෙළ පිළිගැනීමට සහ එයට සහභාගී වීමට තෝරාගැනීම
  •  ගැටලූ හඳුනා ගැනීම හා ප‍්‍රමුඛත්වය තීරණය කිරීම
  • පුහුණුව හා ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රජා මිනිස් බලය තෝරාගැනීම
  • හැකිතරම් දුරට ප‍්‍රජාව තුළින්ම සම්පත් සොයාගැනීම සහ අවශ්‍ය වූ විට බාහිර සම්පත් සපයාගැනීම
  • සාමාජිකයන්ට තොරතුරු සැපයීම, අවශ්‍යතා පිළිබඳ අවබෝධය වැඩි කිරීම හා ප‍්‍රජාව ක‍්‍රියාත්මක කිරීම
  • වැඩපිළිවෙළ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසුවිපරම

මීට අමතරව ශක්තිමත් පදනමකින් යුක්ත වීම, මනාව සංවිධානය කිරීම, පවතින යටිතල ව්‍යූහයන් සහ සංවර්ධන ක්‍රියා පිළිවෙත් භාවිතය වැනි ලක්ෂණද සාර්ථක ප‍්‍රජා මූලික පුනරුත්ථාපන ව්‍යාපෘතියක දක්නට ඇති බව සඳහන් කළ හැකිය.

ප‍්‍රජා මූලික පුනරුත්ථාපනයේදී ආයතනවල කාර්යයභාරය පහත ආකාරයට සාරාංශ කළ හැකිය.
  • යොමු කිරීමේ අවශ්‍යතාව සපුරාදීම
  • උචිත මිනිස් බලය පුහුණු කිරීම
  • පර්යේෂණ කිරීම
  • පවුල් මත ඇති පීඩනය අවම කරගැනීමට සහ විශේෂ චිකිත්සාවන් ලබා දීමට ආයතන තුළ රැකබලා ගැනීම
  • ජංගම උපදේශකවරුන් සැපයීම මඟින් ප‍්‍රජා මට්ටමට සහය ලබාදීම

මෙම කාර්යයභාරයන් නිවැරදිව සිදු කිරීමෙන් සමාජයේ අවාසි සහගත තත්ත්වයන්ට මුහුණපාන කණ්ඩායම් හට සාර්ථක අයුරින් ප‍්‍රජා මූලික පුනරුත්ථාපනය සිදු කළ හැකිවේ.

https://thanujasociology.blogspot.com/2019/05/blog-post_30.html

Tuesday, May 28, 2019

සමාජ සංවර්ධනය සඳහා අත්වැලක් වන සමාජ ආරක්ෂණය හඳුනා ගනිමු


රාජ්‍ය සුබසාධන ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් යටතේ සාකච්ඡාවට ලක්වන විෂයය ක්‍ෂේත‍්‍රයක් වශයෙන් සමාජ ආරක්ෂණය හඳුනාගත හැකිය. සමාජ අසමානතාවය හේතුවෙන් මානව සමාජයේ ජීවත්වන සියලූම පුද්ගලයන්ට එක හා සමාන වූ අවස්ථා හිමිවන්නේ නැත. විවිධ නිර්ණායක පදනම් කරගෙන සමාජය තුළ යම් යම් විෂමතාවයන් විද්‍යමාන වන බව පෙන්වාදිය හැකිය. ඒ අනුව සමාජය තුළ පවතින විෂමතා යම්තාක් දුරකට හෝ පාලනය කිරීමට හෝ තුරන් කිරීමට රාජ්‍ය, පෞද්ගලික සහ රාජ්‍ය නොවන යනාදී වශයෙන් විවිධ යාන්ත‍්‍රණවල මැදිහත්වීමෙන් සමාජ ආරක්ෂණය ක‍්‍රියාත්මක වේ.

සමාජ ආරක්ෂණය යනු ඉතා පුළුල් සංකල්පයක් වන අතර එහි පවතින සංකීර්ණත්වය හේතුවෙන් එහි ගතිකත්වයක් දක්නට පවතියි. සමාජ ආරක්ෂණය කාලයට අනුරූපව සමාජයෙන් සමාජයට වෙනස් වේ. Harvey ඇතුළු පිරිස දක්වන ආකාරයට සමාජ ආරක්ෂණය යනු ළමුන්, කාන්තාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, විවිධ හැකියාවන් සහිත පුද්ගලයන්, අවතැන්වූවන්, විරැකියාවෙන් පෙළෙන පුද්ගලයන් සහ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස් ආදී වශයෙන් සමාජයේ අනතුරට භාජනය විය හැකි සමාජ කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ උපකාර කිරීමයි. මේ අනුව සමාජයේ පීඩාවට ලක්වන අවාසි සහගත කණ්ඩායම්වලට අවශ්‍ය ආරක්ෂණය ලබා දෙමින් ඔවුන් සුරක්ෂිත කිරීම වැදගත් බව පෙන්වාදෙයි.

Devereux සහ Sabates- Wheeler සමාජ ආරක්ෂණය නිර්වචනය කරන්නේ සමාජයේ අනතුරට භාජනය විය හැකි සහ ආන්තීකරණයට ලක් කරන ලද කණ්ඩායම්වල සමාජ, ආර්ථික දරිද්‍රතාවය අවම කිරිමේ අරමුණෙන් එසේ ආන්තීකරණය කරන ලද කණ්ඩායම්වල සමාජ තත්ත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් ආදායම් හෝ පරිභෝජන හැකියාවන් ශක්තිමත් කිරීමයනුවෙනි. මෙම නිර්වචනයට අනුව ප‍්‍රජාව සමාජ සහ ආර්ථික යන දෙඅංශයෙන්ම සංවර්ධනය කිරීම ඵලදායී වේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ක‍්‍රියාදාමයට අනුවද සමාජ ආරක්ෂණයට වැදගත් ස්ථානයක් ලබාදී ඇත.ඔවුන් සඳහන් කරන ආකාරයට ලෝක ජනගහනයෙන් 80% ක පමණ ප‍්‍රතිශතයකට පුළුල් සමාජ ආරක්ෂණයක් ලබාගැනීමේ හැකියාවක් නොමැත. ගෝලීය  සහ ජාතික  මට්ටමෙන් දරිද්‍රතාවය සහ විහීනතාවය අවම කිරීම උදෙසා අධ්‍යාපනික, වෘත්තීය, සෞඛ්‍ය රැකවරණය, ආහාර සුරක්ෂිතතාවය සහ ආදායම් සුරක්ෂිතතාවය යනාදී අංශ ඔස්සේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව සමාජ ආරක්ෂණය යනු දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවයට විරුද්ධව සටන් කරන බලවත් උපකරණයකි. එමෙන්ම සමාජ ආරක්ෂණය මානව අයිතිවාසිකමක් මෙන්ම සමාජ සහ ආර්ථික අවශ්‍යතාවයක්ද වේ. එක්සත් ජාතීන්ගේ පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත‍්‍රය අනුව 2030 වන විට සමාජ ආරක්ෂණය ජාතික වශයෙන් සහභාගිත්ව සංවාදයක් ඇති කරමින් සිදු කිරීමට අපේක්ෂා කරයි. මේ තුළින් පැහැදිලි වන්නේ තිරසාර සංවර්ධන ක‍්‍රියාවලියේදී සමාජ ආරක්ෂණයට ප‍්‍රධාන භූමිකාවක් හිමි වන බවයි.

21 වන සියවසේ සමාජ ආරක්ෂණයේ පැවැත්ම වැදගත් සමාජ කතිකාවක් බවට පත්ව ඇත. එක් අතකින් සමාජ ආරක්ෂණය යනු සියලූම ස්ත‍්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ සමාජ හා ආර්ථික සුරක්ෂිතතාවය සහතික කරන මානව පැවැත්ම සඳහා වැදගත් වන අවශ්‍යතාවයකි. සමාජ ආරක්ෂණය තුළින් පුද්ගලික සහ සමාජීය වශයෙන් ජීවිතයේ ගුණාත්මකභාවය අවධාරණය කරන අතර සමාජ ස්ථාවරත්වය, සමාජ සාධාරණත්වය සහ ඒකාබද්ධතාවය වර්ධනය කිරීම සහ ආර්ථික ගතිකත්වය වැඩිදියුණු කරමින් ව්‍යූහාත්මක වෙනසක් ඇති කිරීමට පහසුකම් සපයයි (Garcia, Gruat, 2003).


වර්තමානය වන විට සමාජ ආරක්ෂණය ගෝලීය අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මානව සමූහයා ස්වභාවික සහ මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵල වශයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික සහ පාරිසරික වශයෙන් අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණපායි. මෙම අවදානම්වල කම්පනය පුද්ගලයන්ට, කුටුම්භයන්ට, ප‍්‍රජාවන්ට, ප‍්‍රදේශයන්ට, රටකට සහ රටවල් කීපයකට හෝ සමස්ත ලෝකයටම දරාගැනීමට සිදුවෙයි. සෞඛ්‍යමය වශයෙන් විවිධ හැකියාවන්ගෙන් සමන්විත වීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීම සහ සමාජමය වශයෙන් අපරාධ හා ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැනි අවදානම් තත්ත්වයන්ටද ගොදුරු වෙයි. එමෙන්ම ගෝලීය වශයෙන් සිදු වන භූමිකම්පා, ගංවතුර වැනි ස්වභාවික ව්‍යවසන, සෞඛ්‍ය උවදුරු, දේශපාලන අර්බුද, මූල්‍ය අර්බුද සහ ආර්ථික අර්බුද වැනි ආබාධ තත්ත්වයන් සමස්ත සමාජයටම ඍණාත්මක බලපෑම් ඇති කරන බව Garcia සහ Gruat විසින් පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයකදී ඍණාත්මක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමේ හැකියාව පහත වැටෙන බැවින් සමාජ ආරක්ෂණයේ වැදගත්කම ඉස්මතු වේ.


ලෝක කම්කරු සංවිධානයේ සමාජ ආරක්ෂණ අංශය විසින් සමාජ ආරක්ෂණයේ මූලධර්ම සඳහන් කර තිබේ. ඒ අනු
  •         ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් වෙනස්කම්වලට භාජනය නොකර සමානව සැළකීම
  •      සාමූහිකත්වය සහ සහයෝගීතාවය
  •          අන්තර්ගතය
  •          රාජ්‍යයේ පොදු වගකීම
  •          විනිවිදභාවය සහ ප‍්‍රජාතාන්ත‍්‍රික කළමනාකරණය
යන මූලධර්ම මත ක්‍රියා කිරීමෙන් මානව සමූහයාට කාර්යක්ෂම සහ ඵලදායී සමාජ ආරක්ෂණ සේවයක් ලබාදිය හැකිය.

ලෝක කම්කරු සංවිධානය පවසන ආකාරයට මානවයාගේ උපතේ සිට මරණය දක්වාම ජීවන චක‍්‍රයේ සෑම අවස්ථාවකම පාහේ අනතුරට භාජනය වීමේ අවදානම් සහගතභාවය පවතින හෙයින් සමාජ ආරක්ෂණ යාන්ත‍්‍රණයක අවශ්‍යතාවය වැදගත් බව පෙන්වාදිය හැකිය. රෝගී බව, විවිධ හැකියාවන්ගෙන් සමන්විත බව, රැකියා අනතුරු, ප‍්‍රචණ්ඩත්වය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය ගැටලූ, යුද්ධය වැනි අවස්ථාවලදී සමාජයේ පීඩාවට පත්වන නිසාවෙන් ගෘහ මූලිකයාට හෝ ඔහුගේ යැපෙන්නන්ට විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවේ. එබැවින් වර්තමාන සහ අනාගත පැවැත්ම සඳහා සමාජ ආරක්ෂණ ක‍්‍රමවේදයක් තිබිය යුතු බව ලෝක කම්කරු සංවිධානය පෙන්වාදෙයි.

සමාජ ආරක්ෂණ ශිල්පී ක‍්‍රම වශයෙන් සමාජ රක්ෂණය, සේව්‍ය වගකීම්, සමාජ ආධාර, සමස්ත ලෙස ව්‍යාප්ත වූ හෝ පොදු සේවා හා ජාතික අර්ථසාධක අරමුදල් හඳුනාගත හැකිය. 1833 ජර්මනිය විසින් ප‍්‍රථමයෙන්ම අනිවාර්ය සමාජ සේවය හඳුන්වා දෙන ලදි. කර්මාන්ත පදනම් කරගෙන අනතුරු රක්ෂණය ක‍්‍රියාත්මක විය. සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රමයේ විෂයය ක්‍ෂේත‍්‍රයට අදාළ කාර්යයන් ඉටු කිරීමට පරිපාලන සංවිධානයක් අවශ්‍ය වන අතර එය රජයේ දෙපාර්තමේන්තුවක් හෝ රජයේ දෙපාර්තමේන්තුවක අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන අර්ධ ස්වාධීන ආයතනයක් විය හැකිය. සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ ඍජුවම සේව්‍ය වගකීමක් වන අතර එය නීතිගත කර ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසිභාවය හෝ පවුලේ ආදායම් උපයන්නා යම් අනතුරකට මුහුණපෑම වැනි හේතු නිසා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය වගකිව යුතුය යන මූලධර්මය මත සමාජ ආධාර යන සංකල්පය පදනම් වී ඇත. සර්ව හෝ පොදු සේවය සහ ජාතික අර්ථසාධක අරමුදල් ද සමාජ සුබසාධනය යටතේ සමාජ ආරක්ෂණය සපයන ශිල්ප ක‍්‍රමයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

ඉහත නිර්වචන අනුව සමාජ ආරක්ෂණයේ අරමුණු කීපයක් හඳුනාගත හැකි අතර ඒවා පහත ආකාරයට පෙළගැස්විය හැකිය.
  •          භාණ්ඩ හා සේවා සපයමින් මානවයාගේ යහපැවැත්ම තහවුරු කිරීම
  •    අවදානම් වැළැක්වීම සහ අවාසි සහගත තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උචිත ධනාත්මක උපායමාර්ග සහ ප‍්‍රතිපත්ති සම්මත කර ක‍්‍රියාත්මක කිරීම
  •          පුද්ගලික සහ සමාජීය විභවතා සහ අවස්ථා හිමිකර දීමට ක‍්‍රියා කිරීම
  •          සමාජ, ආර්ථික සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීම
මෙම අරමුණු තුළින් ගෝලීය වශයෙන් සමාජ ආරක්ෂණය හරහා දරිද්‍රතාවය අවම කිරීම සහ තිරසාර සංවර්ධනයක් ඇති කරගැනීම පරමාර්ථ කරගනියි.

Devereux සහ Sabates- Wheeler යන දෙදෙනා විසින් සමාජ ආරක්ෂණ කාර්යයන් පැහැදිලි කිරීමට ඉදිරිපත් කරනු ලබන සංකල්ප රාමුව තුළ කරුණු 4ක් දක්වා ඇත.

  •         ආරක්ෂා කිරීම (නිදසුන්: ආදායම් රතිලාභ, රාජ්‍ය විශ‍්‍රාම වැටුප්)
  •      අවදානම් වැළැක්වීම (නිදසුන්: ඉතුරුම්, සමාජ රක්ෂණය)
  •      උසස් කිරීම (නිදසුන්: යෙදවුම්)
  •      පරිවර්තනාත්මක වීම (නිදසුන්: කම්කරු නීති)
සමාජ ආරක්ෂණය නීතිමය වශයෙන් සුරක්ෂිත කර ඇති ආකාරයක්ද දක්නට ඇත. 1948 විශ්ව මානව අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව සමාජ ආරක්ෂණය ලැබීම මානව අයිතිවාසිකමක් වශයෙන් පිළිගනියි. ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 9 වන වගන්තිය අනුව සමාජ රක්ෂණය ඇතුළුව සමාජ ආරක්ෂණය සඳහා සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය පෙන්වාදෙයි. ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමාජ සංවර්ධනය සහ මානව යහපැවැත්ම කේන්ද්‍ර කොටගෙන තිරසාර සංවර්ධනය වෙතට ගමන් කිරීමේදී විවිධ සම්මුති සහ සම්මේලන හරහා සමාජ ආරක්ෂණයේ භූමිකාව පෙන්වාදී ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පාරිසරික හා සංවර්ධනය පිළිබඳ සම්මුතිය (1992), ජනගහනය හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම (1994), ලෝක ආහාර සමුළුව (1996), එක්සත් ජාතීන්ගේ වර්ගවාදයට එරෙහි සම්මුතිය (2001) සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ දෙවන ලෝක සමුළුව (2002) යනාදී විවිධ ගිවිසුම් තුළින් සමාජ ආරක්ෂණයට ඇති අයිතිය පිළිගෙන ඇත.

මේ ආකාරයට තොරතුරු විමසා බලන විට සමාජ ආරක්ෂණය වර්තමාන සමාජ සන්දර්භය තුළ අත්‍යවශ්‍ය සමාජ වගකීමක් බවට පත්ව ඇති බව පැහැදිලිය. මේ නිසා සමාජයේ පවතින සම්පත් කරා යාමට නොහැකි පිරිස් වෙත යම්කිසි ආරක්ෂණයක් ලබාදෙමින් සමාජ සාධාරණත්වය සහ සමාජ සංවර්ධනය සිදු කිරීමට රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලික අංශයද මැදිහත් වෙයි. සමාජ ආරක්ෂණය මඟින් ප‍්‍රජාව බලාත්මක කරන අතර වෘත්තීය මට්ටමෙන් ඔවුන්ගේ ගැටලූවලට වඩාත් ඵලදායී විසඳුම් ලබාදීමට ක‍්‍රියා කරමින් අවසානයේ සමාජ සංවර්ධනය ගොඩ නැඟීමට කටයුතු කරන බව දැකිය හැකිය.

https://thanujasociology.blogspot.com/2019/05/blog-post_28.html


Thursday, May 23, 2019

නව ලිබරල්වාදය මතුවීමට බලපෑ සමාජ, ආර්ථික සහ සංස්කෘතික සාධක පිළිබද විමසීමක්


මධ්‍යතන යුරෝපයේ සමාජගත වූ ලිබරල්වාදය දේශපාලන මතවාදයක් මෙන්ම ධනේෂ්වර ආර්ථික ක‍්‍රියාවලිය පිළිබඳ එක්තරා ආකෘතියක්ද වේ. ධනවාදී සමාජ ක‍්‍රමයේ දේශපාලන මතවාදය වශයෙන් සමාජයට පැමිණි ලිබරල්වාදය ධනපති ක‍්‍රමයේ විකාශනයත් සමඟ කාලානුරූපීව සංශෝධනය වෙමින් සහ ප‍්‍රතිසංස්කරණයට භාජනය වෙමින් අවස්ථා තුනකදී ඉදිරියට පැමිණ තිබේ. එනම් සම්භාව්‍ය ලිබරල්වාදය, නූතන ලිබරල්වාදය සහ නව ලිබරල්වාදය යනුවෙනි.

නව ලිබරල්වාදය යනු පෞද්ගලික දේපළ අයිතිය, නිදහස් වෙළඳපොළ සහ නිදහස් වෙළඳාම යන ලක්ෂණවලින් සමන්විත ආයතනික රාමුවක් යටතේ පුද්ගලික ව්‍යවසායකත්ව නිදහස සහ හැකියාවන් වර්ධනය කිරීම මඟින් මානවයාගේ යහපත දැකිය හැකි බව යෝජනා කරන දේශපාලන ආර්ථික භාවිතයන් පිළිබඳ න්‍යායකි. රාජ්‍යයේ කාර්යයභාරය වන්නේ මෙම තත්ත්වයන් තුන තහවුරු කිරීමයි. මේ අනුව නව ලිබරල්වාදීන්ගේ මූලික තර්කය වන්නේ අවම රාජ්‍යයක් තුළ නිර්බාධවාදය බලාත්මක කිරීමය.

නව ලිබරල්වාදයේ ක‍්‍රියාකාරිත්වය තුළින් රාජ්‍යය වෙළඳපොළ කෙරෙහි මැදිහත්වීම අවම විය යුතු අතර රාජ්‍ය වියදම් අවම කිරීම, සහනාධාර කප්පාදු කිරීම, මිල පාලනය කිරීමෙන් ඉවත්වීම, බදු නීති ප‍්‍රතිසංස්කරණය සහ බදු පදනම පුළුල් කිරීම, වෙළඳපොළ ආරක්ෂණවාදයෙන් විවෘත කිරීම, රාජ්‍ය සතු ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම, පෞද්ගලික දේපළ ක‍්‍රමයට ඉඩදීම සහ විදේශ භාණ්ඩ සහ ප‍්‍රාග්ධන ආයෝජන සඳහා දේශසීමා විවෘත කිරීම ආදී ලක්ෂණ හඳුනාගත හැකිය. 1980 දශකයේ ඉදිරියට පැමිණි නව ලිබරල්වාදය වර්තමානය වන විට සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් වැදගත් මෙන්ම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් සහිත සංයුක්ත මතවාදයක් බවට පත්ව තිබේ. මෙයට බලපා ඇති හේතු සාධක සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික යනාදී විවිධ අංශයන්ගෙන් හඳුනාගත හැකිය.

නව ලිබරල්වාදය යනු ලිබරල්වාදයේම නව අර්ථකථනයකි. මේ නිසා ලිබරල්වාදය හා බැඳි පොදු අදහස් නව ලිබරල්වාදය තුළ දක්නට ලැබේ. ලිබරල්වාදයේ ආර්ථික ප‍්‍රවාදය ගොඩනැඟූ ප‍්‍රධානතම මතධාරියා වූයේ ඇඩම් ස්මිත්ය. ඇඩම් ස්මිත් විසින් 1776 දී රචනා කළ An inquiry into the nature and cause of the wealth of nations නම් කෘතිය තුළින් තනි පුද්ගලයන් හට නිදහසේ තරඟ කිරීමට සම අයිතිය සහ නිදහස ලැබිය යුතු බවට අදහස් ඉදිරිපත් කළ අතර නිදහස් වෙළඳපොළ ක‍්‍රමය වැදගත් කොට සළකන ලදි. මෙම කෘතිය තුළින් ධනවාදී ආර්ථික ක‍්‍රමය හැසිරවීම සඳහා දේශපාලන හස්තයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අදෘෂ්‍යමාන හස්තයක් පවතී. එනම් මිල යාන්ත‍්‍රණයයියනුවෙන් දක්වා ඇත. (අබේරත්න, 2015). ඒ අනුව රජය ආර්ථික කටයුතුවලින් ඉවත්විය යුතු බවත් නිෂ්පාදනය නිදහස් විය යුතු බවත් දක්වයි. එමෙන්ම ඬේවිඞ් රිකාඩෝ පෙන්වා දෙන්නේ කාර්මික සහ ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ රජය විසින් පනවා ඇති නීතිරීති වහා ඉවත්කොට වෙළඳපොළෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව ඒවාට ක‍්‍රියාත්මක වීමට නිදහස ලබාදිය යුතු බවය (ප‍්‍රනාන්දු, 1981). මේ ආකාරයට ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් වූ අදහස් නව ලිබරල්වාදය ඉස්මතු වීමට හේතු වූ බව සඳහන් කළ හැකිය.
  • සුබසාධනය රාජ්‍යයේ පැන නැඟීම සහ එහි අසාර්ථකත්වය

මධ්‍යතන යුගයේ යුරෝපයේ පමණක් නොව ලෝකයේ සෙසු රටවල පවා විශාල සමාජ පරිවර්තනයක් ඇති කළ සංසිද්ධිය බවට පත්වූයේ කාර්මික විප්ලවයයි. කාර්මීකරණය සහ වාණිජ්‍යකරණය විසින් 19 වන ශතවර්ෂය වන විට යුරෝපය තුළ ධනේෂ්වර ආර්ථිකයේ විශාල අර්බුදයක් නිර්මාණය කර තිබිණි. කාර්මීකරණය වඩාත් ව්‍යාප්ත වූ එංගලන්තයේ මෙම අර්බුදය උග‍්‍ර විය. රාජ්‍ය නිර්බාධවාදී ප‍්‍රතිපත්තිය මඟින් පුද්ගලයාගේ ආර්ථික නිදහස තහවුරු වූ අතර එහි සැබෑ අරුත වූයේ ව්‍යවසාය පිළිබඳ නිදහස තහවුරු වීමය. මේ යටතේ පුද්ගලයාට භාණ්ඩ වෙළඳපොළ බලවේගයන් හැසිරවීමටත් ශ‍්‍රම වෙළඳපොළ හැසිරවීමටත් පුළුල් නිදහසක් හිමිවිය. මේ තුළින් සත්‍ය වශයෙන්ම සිදු වූයේ ප‍්‍රාග්ධන හිමි ධනපති පංතියේ නිදහස තහවුරු වීමකි. මේ අනුව ධනපති පංතියට නිර්ධන පංතියේ ශ‍්‍රමය සූරාකෑමේ පුළුල් අවකාශයක් නිර්මාණය විය. මෙම ශ‍්‍රමිකයන්ගෙන් දිනකට පැය 10 සිට 14 දක්වාත් ඇතැම්විට 16 දක්වාත් වැඩකරවා ගැනීමට කිසිම බාධාවක් හෝ සීමාවක් රජය විසින් පනවා නොතිබූ බැවින් ධනේෂ්වර ව්‍යවසායකයන් ඉතා අමානුෂික අන්දමින් කම්කරු ශ‍්‍රමය සූරාකෑමට ලක්වූයේ කම්කරුවන්ගෙන් දිනකට වැඩි පැය ගණනක් සේවය ලබා ගැනීම, ඉතා අවම වැටුප් ගෙවීම, විශ‍්‍රාම වැටුප්, අතිකාල දීමනා සහ සේවක වන්දි මුළුමනින්ම පැහැර හැරීම, සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නොසලකා හැරීම යනාදී වශයෙනි. ස්ත‍්‍රීන්ගේ සහ කුඩා දරුවන්ගේද ශ‍්‍රම සූරාකෑමක් සිදු වූ අතර මෙම කර්මාන්තශාලා තුළ විවිධ අනතුරු සහ රෝගවලට පවා ගොදුරු විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ සමාජයේ බහුතරය වන කම්කරු සහ පීඩිත ජනතාව දරිද්‍රතාවයේ අන්තයට ඇද වැටීමය.

ප‍්‍රාග්ධන සූක්ෂම කර්මාන්ත ව්‍යාප්ත වීමත් සමඟ ශ‍්‍රමිකයන්ට රැකියා අහිමි කිරීමට කර්මාන්තශාලා හිමියන් පියවර ගැනීමෙන් විරැකියාව පිළිබඳ ප‍්‍රශ්නය පැන නැඟීමෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ. තවද මන්දපෝෂණය, රෝගී බව මෙන්ම කම්කරු ශ‍්‍රමය නගර කරා ඇදී ඒම තුළින් නාගරික තදබදය, මුඩුක්කු ප‍්‍රශ්නය සහ තවත් සමාජ ප‍්‍රශ්න රාශියක් උද්ගත විය. මෙකී සියලූ තත්ත්වයන්ට මූලික හේතුව වූයේ ධනපති පංතිය විසින් ලාභ උපරිමනය කර ගැනීමට අනුගමනය කළ ක‍්‍රියාකලාපයයි.

නූතන ලිබරල්වාදයේදී රාජ්‍ය පොදු ජනතාවගේ සුබසාධනය කෙරෙහි මැදිහත්විය යුතු බවට ඉදිරිපත් වන මතවාදය සමාජගත විය. ජේම්ස් මිල්, ජෝන් ස්ටුවට් මිල් සහ ජෝන් මෙනාඞ් කේන්ස් යනාදීන් රාජ්‍ය සුබසාධනවාදය පිළිබඳව න්‍යායාත්මක අදහස් දක්වා තිබේ. ඒ අනුව රජය සමාජයේ පීඩාවට පත්ව සිටි ජනතාව නඟා සිටුවීම සඳහා දෙයාකාරයකට සමාජ සුබසාධන කටයුතු ක‍්‍රියාත්මක කරන ලදි. එනම් පොදු සමාජ අභිවෘද්ධිය ඇති කිරීම සදඟා අවශ්‍ය නීති සැකසීම සහ සමාජයේ මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි සමාජ කොටස් සඳහා සහනාධාර ලබා දීම යනුවෙනි. මෙහිදී වැඩිහිටි පුරවැසියන්, රෝගීන්, ආබාධිතයන් සහ දුප්පතුන් යනාදී කොටස්වල ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී අවශ්‍යතා සපුරාලීම සඳහා ධනපතියන්ගෙන් අයකර ගනු ලබන බදු මුදල් මඟින් සුබසාධන සේවා ලබා දීම සිදු විය. කේන්සියානු සුබසාධන රාජ්‍ය දෘෂ්ටිය වෙනුවට නව ලිබරල්වාදයේදී නිදහස් වෙළඳපොළ පදනම් කරගත් නව රාජ්‍ය දෘෂ්ටියක් ඉදිරිපත් වේ.

සුබසාධන රාජ්‍යය අසාර්ථකත්වයට පත්වීම නව ලිබරල්වාදයේ ඉස්මතු වීමට ප‍්‍රබලව බලපා ඇති කරුණකි. සුබසාධන රාජ්‍යයක් නිර්මාණය කළත් දුප්පත්කම, විරැකියාව වැනි ගැටලුවලට විසඳුම් ලැබුණේ නැත. ඒ අනුව අපේක්ෂිත පරමාර්ථ සාධනය කරගත නොහැකි වීම තුළින් සුබසාධනය විවේචනයට ලක් විය. සුබසාධනය ජනතාවට සේවා සපයන යාන්ත‍්‍රණයකට වඩා රාජ්‍ය ප‍්‍රසාරණය කිරීමේ මාධ්‍යයක් විය. සුබසාධනය වියදම් අධික ක‍්‍රියාවක් වීම, යැපුම් මානසිකත්වයක් ඇති වීම හේතුවෙන් ස්වයංක‍්‍රීයව දරිද්‍රතාවයට පත්වීම, නිළධාරිවාදී ආඥා දායකත්වයක් බිහිවන බවට ඉදිරිපත් වූ අදහස සහ සුබසාධනයෙන් රාජ්‍ය විශාල වශයෙන් ප‍්‍රසාරණය වන අතර පුද්ගල නිදහස හා ගරු කිරීම පහළ යන බවට ඉදිරිපත් වූ අදහස යනාදී වශයෙන් සුබසාධනවාදයට එල්ල වූ විවේචන සමඟ නව ලිබරල්වාදයේ නැඟීම තවදුරටත් ශක්තිමත් වේ. මෙම තත්ත්වය මත 1973 වන විට යළිත් ලෝක ආර්ථික අර්බුදයක් ඇතිවීමද ධනවාදී රාජ්‍යයන්ට සුබසාධන ආකෘතියෙන් බැහැරව යළිත් වරක් ආර්ථිකයෙන් රජය හකුළුවා ගැනීමට සහ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියක් වෙත නැඹුරු වීමට හේතු විය. 
  • ලෝකයේ ධනවාදී සහ සමාජවාදී වශයෙන් බල කඳවුරු දෙකක් නිර්මාණය වීම

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු ලෝක දේශපාලනය සහ බල තුලනය තුළ සිදුවන වෙනස්කම් හරහා වෙළඳපොළ කෙරෙහි රාජ්‍ය මැදිහත්වීමේ ස්වභාවය වෙනස් කිරීමටද බලපෑම් කරන ලදි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ධනවාදී කඳවුර සහ රුසියාව ප‍්‍රධාන කොටගත් සමාජවාදී කඳවුර අතර බල අරගලයක් ඇතිවේ. මෙය සිසිල් යුද්ධයක්ලෙස හැඳින්වේ (වීරසිංහ, 2002). දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාව ලොව බලවතා වශයෙන් නැඟී සිටියි. ඊට සාපේක්ෂව මහා බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය සහ ජර්මනිය වැනි බටහිර රාජ්‍යයන් දුර්වල විය. යුද්ධයෙන් බිඳවැටුණු යුරෝපය නැවත ගොඩනැඟීමට ඇමෙරිකාව විසින් සකසන ලද වැඩපිළිවෙළ මාර්ෂල් සැලැස්ම (1948- 1952) නම් වෙයි. මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ ඇමෙරිකානු ආධිපත්‍යය බටහිර යුරෝපය තුළ ස්ථාපිත කිරීම සහ සෝවියට් සංගමයටත්, ජාතික විමුක්ති ව්‍යාපාරයටත්, සමාජවාදී කඳවුරටත් විරුද්ධව යුරෝපා අධිරාජ්‍යවාදී රටවල ඒකාබද්ධ පෙරමුණක් නිර්මාණය කිරීමය. වර්තමාන ලෝකයේ ක‍්‍රියාත්මක වන නව ලිබරල්වාදී ආකෘතිය ඉස්මතු වීමට දේශපාලනික වශයෙන් මතු වූ සිසිල් යුද්ධයේ දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පැහැදිලි වේ.
  • අන්තර්ජාතික ආයතන පද්ධතියක් ස්ථාපිත වීම

ලෝක භූ දේශපාලනයේ සිදුවන ව්‍යූහාත්මක වෙනස්කම් නව ලිබරල්වාදය ඉස්මතු වීමට බලපා ඇති බව පෙන්වාදිය හැකිය. ඒ අනුව දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සකස් කරන ලද නව ආර්ථික හා දේශපාලන සැලැස්ම බ්‍රෙට්න් වුඞ්ස් ගිවිසුමයනුවෙන් හඳුන්වයි (සිතිජය මාධ්‍ය සංසදය, 2003). ඒ වන විට ලෝක පරිමාණයෙන් බිඳ වැටී තිබූ මූල්‍ය ක‍්‍රමය සහ අන්තර්ජාතික වෙළඳාම නැවත ගොඩනඟමින් සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීම අරමුණු කොටගෙන ප‍්‍රධානතම මූල්‍ය ආයතන දෙකක් ස්ථාපිත කරන ලදි. එනම් පොදුවේ බ්‍රෙට්න් වුඞ්ස් ආයතන ලෙස නම්කරන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (ලෝක බැංකුව) යන්නයි.

මුල් අවධියේ මෙකී ආයතන ධනේෂ්වර රටවල ප‍්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා අවශ්‍ය ණය සැපයීමත්, තාක්ෂණික ආධාර සැපයීමත් ප‍්‍රමුඛස්ථානයක් ගත්තේය. පසුව මෙම අන්තර්ජාතික ආයතන සිය සැලසුම් සහ මෙහෙයුම් නව ආකාරයකට පරිධියේ පසුගාමී නව ජාතික රාජ්‍යයන් වෙත ඉලක්ක කරයි. මෙම නව තත්ත්වය තුළ ලෝක බැංකුව සිය අරමුණ ලෙස තිරසාර ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඇති කිරීම තුළින් දිළිඳුකම පිටුදැකීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයනුවෙන් ප‍්‍රකාශ කළේය. මෙයද කේන්ද්‍රයේ සූරාකෑමේ තවත් ක‍්‍රියාන්විතයක් වශයෙන් හඳුනාගත හැකිය. ලෝක බැංකුවේ මෙම ක‍්‍රියාමාර්ගය වඩා විධිමත් අයුරින් ඉදිරියට ගෙන යාම සඳහා එයට අනුබද්ධිතව තවත් ආයතන කීපයක් වරින්වර එකතු විය. නිදසුන් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව, අන්තර්ජාතික සංවර්ධන සංගමය, බහු පාර්ශවීය ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය, ආයෝජන ආරවුල් සමතයකට පත්කිරීම සඳහා වන අනුතර්ජාතික මධ්‍යස්ථානය යනාදිය පෙන්වාදිය හැකිය. මෙම ජාත්‍යන්තර ආයතන පද්ධතිය තුළින් නව ලිබරල්වාදී ආකෘතිය ඉස්මතු වීමට අවකාශය සකස් කර ඇත.

1970 දශකයේදී ලෝක පරිමාණයෙන් ඇති වූ ආර්ථික අර්බුදය හේතු කොටගෙන ලෝක බැංකුව එතෙක් ක‍්‍රියාත්මක කළ ආර්ථික න්‍යායෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. රටක ආර්ථික කටයුතුවලින් රජය ඉවත්විය යුතු බවත් එය පෞද්ගලික අංශය යටතට පැවරිය යුතු බවත් තීරණය කළ ලෝක බැංකුව එම ආර්ථික උපායමාර්ගය සිය සාමාජික රාජ්‍යයන් තුළ ක‍්‍රියාත්මක කිරීමට නිර්දේශ සකස් කර ඇත. මේ අනුව ලෝක පරිමාණව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කෙරෙන අතර 1980 දශකය තුළ ඒ සඳහා ව්‍යූහාත්මක ගැළපුම්සැකසෙයි. නිදසුනක් වශයෙන් ශ‍්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදීම පෙන්වාදිය හැකිය. මෙහිදී විදේශ ආයෝජනයන්ට අවස්ථාව ලබාදීම, යටිතල පහසුකම් සපයා දීම, සන්නිවේදන පහසුකම් හඳුන්වා දීම සහ වෙළඳපොළ සීමා ලිහිල් කිරීම සිදුවූ අතර අවශ්‍ය පහසුකම් සැපයීමට මුදල් සපයාගෙන ඇත්තේ සුබසාධනය කප්පාදු කිරීමෙනි. එය ලෝක බැංකුව වෙතින් ඉදිරිපත් කළ නිර්දේශයකි. මේ අනුව නව ලිබරල්වාදය ඉස්මතු වීමට දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු අන්තර්ජාතික වශයෙන් ගොඩනැඟෙන ආයතනික පද්ධතිය හේතු වන බව පෙන්වාදිය හැකිය.
  • 1970 දශකයේ ආර්ථික අර්බුදයක් උද්ගත වීම

1930 දශකයෙන් පසු 1970 දශකයේදී ලෝකයේ නැවත ආර්ථික අර්බුදයක් මතු වූයේ තෙල් මිල ශීඝ්‍රෙයන් ඉහළ යාම හේතුවෙනි. මේ නිසා ලෝකයේ ප‍්‍රධාන පෙළේ ධනවාදී රටවල් මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණපාන ලදි. ආර්ථික වර්ධන වේගය පහත වැටීම, සේවා වියුක්තිය ඉහළ යාම, මිල මට්ටම් ශීඝ‍්‍රයෙන් ඉහළ යාම, ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය උග‍්‍රවීම, විදේශ වෙළඳාමේ වර්ධන වේගය පහත බැසීම, ඩොලරය අවප‍්‍රමාණ වීම, පොලී අනුපාතය ශීඝ‍්‍රයෙන් ඉහළ යාම සහ විනිමය අනුපාත අස්ථාවර වීම යනාදිය ආර්ථික අර්බුදයේ ලක්ෂණ විය. මෙම තත්ත්වය යටතේ කේන්සියානු ප‍්‍රතිකර්ම එලෙසින්ම යොදා ගැනීමට නොහැකි වූ අතර සුබසාධන ප‍්‍රතිපත්තියෙන් බැහැරව නව මඟකට එනම් නව ලිබරල්වාදය වෙත ප‍්‍රවේශ වීමට සිදු විය.
  • සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීම සහ අධිරාජ්‍ය විරෝධී ජනතා අරගල දුර්වල වීම

1980 දශකයෙන් පසු නව ලිබරල්වාදය ශක්තිමත් වීමට අවශ්‍ය වාසිදායක දේශපාලන වටපිටාවක් නිර්මාණය විය. සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපයේ පැවති සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීම සහ අධිරාජ්‍ය විරෝධී ජනතා අරගල දුර්වල වීම මත නව ලිබරල්වාදයට පැවති බාධාවන් ඉවත් වීමත් සමඟ ගෝලීය ප‍්‍රාග්ධනයට නව භූමි ප‍්‍රදේශයන් විවෘත වේ. විශේෂයෙන්ම සමාජවාදී ලෝකයේ පරිහානිය තුළ අධිරාජ්‍යවාදී සමාජ ආර්ථික සහ දේශපාලන බලවේගයන්ට ලෝකය තුළ නිරුපද්‍රිතව හැසිරීමේ අවකාශය සැලසුණි. මේ අනුව ජාතික රාජ්‍යයේ සීමාව ඉක්මවා වෙළඳපොළ ආර්ථිකය ලොව පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය.
  • ගෝලීයකරණය සමඟ නව ලිබරල්වාදය ශක්තිමත්ව ඉස්මතු වීම

ගෝලීයකරණය යනු නව ලිබරල්වාදය ශක්තිමත් කිරීමට බලපා ඇති ප‍්‍රබල සාධකයකි. මීට අවශ්‍ය න්‍යායාත්මක පදනම සකස් කරනු ලැබුවේ රොබට් මැක්නමාරා, මාග‍්‍රට් තැචර් සහ රොනාල්ඞ් රේගන් යනාදීන් විසිනි. නව ලිබරල්වාදය පිළිබඳ මතවාදය වඩාත් සංවිධානාත්මක ආකෘතියකින් ඉදිරිපත් කරන ලද්දේ 1973 වන විට ලෝක බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කළ රොබට් මැක්නමාරා විසිනි. 1975 නයිරෝබී දේශනයතුළින් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක්යන අදහස කරළියට ගෙනෙන ලදි. එහිදී තවදුරටත් සුබසාධනවාදී ධනවාදයට පැවැත්මක් නොමැති බවත් ධනවාදය විසින් නව ආකෘතියක් ඉල්ලා සිටින බවත් මැක්නමාරාගේ අදහස විය. ඔහු එම නව ආකෘතිය නව ලිබරල්වාදයනමින් හඳුන්වා ඇත. මැක්නමාරාගේ නව ලිබරල්වාදී අදහස් මත පදනම් වෙමින් නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමට රොනාල්ඞ් රේගන් ප‍්‍රතිසංස්කරණ සිදු කරන අතර මේ නිසාම ඇමෙරිකාව තුළ නව ලිබරල්වාදය රේගන්වාදය වශයෙන් හඳුන්වන ලදි. 

මැක්නමාරා විසින් ප‍්‍රසිද්ධියට පත් කළ නව ලිබරල් ආකෘතිය බි‍්‍රතාන්‍යයේ ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නංවනු ලබන්නේ තැචර් විසිනි. 1980 දශකය වන විටත් බි‍්‍රතාන්‍යය තුළ පැරණි වැඩවසම් ලක්ෂණ ශේෂව පැවති බැවින් නව ලිබරල්වාදය ක්‍රියාවට නැංවීමේදී වඩා සැළකිලිමත්ව න්‍යාය පත‍්‍රය සකස් කරන අතර නව ලිබරල්වාදය බි‍්‍රතාන්‍යයේ තැචර්වාදය ලෙස නාමකරණයට ලක් වන්නේ ඒ නිසාවෙනි. 1980 දශකයේ ආර්ථික ක්‍ෂේත‍්‍රය තුළ ද්‍රව්‍යමය වශයෙන් හඳුනාගත් නව ලිබරල්වාදය වර්තමානය වන විට සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් සංයුක්ත මතවාදයක් බවට පත්ව තිබේ. 

ගෝලීයකරණය මඟින් සමස්ත ලෝකය ඒකරාශී කරන වටපිටාවක් නිර්මාණය විය. ඒ සඳහා පරිගණක සහ තොරතුරු තාක්ෂණයේ නව ක‍්‍රමවේදයන් යොදා ගන්නා ලදි. නව නිදහස් වෙළඳපොළට උචිත ආකාරයෙන් සන්නිවේදන තාක්ෂණය යොදාගත් අතර මෙම තත්ත්වය හමුවේ ලෝකයේ සෑම රටකටම පාහේ නව ලිබරල් ධනවාදය වැළඳ ගැනීමට බල කෙරෙන නව අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළ පෙර පැවති ආකාරයට වඩා ඉතා සූක්ෂම ආකාරයෙන් ක‍්‍රියාත්මක විය. මේ අනුව සුබසාධන කප්පාදුවට ලක් කරමින් ආර්ථික අර්බුදයට විසඳුම් සපයමින් ඉදිරිපත් වන නව ලිබරල්වාදය ධනේෂ්වර රාජ්‍ය තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට ව්‍යවස්ථාපිත ඒකාධිපති තන්ත‍්‍රයක් බිහි කිරීම, බහුජාතික සමාගම් අතර ඇති කරගත් සැලසුම්වලට ප‍්‍රමුඛතාවය ලබා දීම, අන්තර්ජාතික සහ කලාපීය ගිවිසුම්වලින් ජාතික රාජ්‍යවල සීමාව ඉක්මවා ප‍්‍රාග්ධනය හැසිරවීමට හැකි වීම වැනි නව ලිබරල්වාදී දේශපාලන සහ ආර්ථික උපාය මාර්ගයන් හරහා සිය ආධිපත්‍යය ලෝකය පුරා හැසිරවීමට නව ලිබරල්වාදයට හැකිවී තිබේ. මෙහිදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නව අධිරාජ්‍යවාදය දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය ව්‍යාපෘති හරහා නව ලිබරල්වාදය ව්‍යාප්ත කිරීමට ප‍්‍රබල කාර්යයභාරයක් ඉටු කරනු ලබයි. මේ අනුව ලෝක සමාජ සන්දර්භය තුළ එකිනෙකට සම්බන්ධව ගොඩනැඟුණු සිදුවීම් රාශියක ප‍්‍රතිඵලයක් වශයෙන් නව ලිබරල්වාදය ඉස්මතු වන බව පැහැදිලි කළ හැකිය.

https://thanujasociology.blogspot.com/2019/05/blog-post.html