Thursday, November 1, 2018

සංවර්ධන ක‍්‍රියාවලියේදී සහභාගිත්ව සංවර්ධන එළඹුම වැදගත් වන්නේ ඇයි?



                                                             සහභාගිත්ව සංවර්ධනය 

වර්තමාන ලෝකය දැවැන්ත සංවර්ධන ක‍්‍රියාවලියකට අවතීර්ණ වී ඇති අතර එය මානව සමාජයේ සෑම දිශාවකටම පාහේ ක‍්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එහිදී සංවර්ධිත රටවල් පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවල්ද වේගවත් සංවර්ධනයක් අපේක්ෂාවෙන් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ක‍්‍රියාවට නංවනු ලැබේ. කාලානුරූපීව ගොඩ නැඟුණු සංවර්ධනය පිළිබඳ විවිධ ක‍්‍රමවේදයන් අතරින් සහභාගිත්ව සංවර්ධන එළඹුමට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. ඒ අනුව මෙම ලිපියෙන් සහභාගිත්ව සංවර්ධනයේ ආරම්භය, අරමුණු සහ සංවර්ධනයේදී වැදගත් වන ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කෙරේ.

සංවර්ධනය පිළිබඳ විවිධ කතිකාවන් තුළ නූතනයේ වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව ඇති ක‍්‍රමවේදයක් වශයෙන් සහභාගිත්ව සංවර්ධනය හඳුනාගත හැකිය. ග‍්‍රීක යුගය දක්වා දිව යන සහභාගිත්ව සංවර්ධනය පිළිබඳ නූතන කතිකාව ගොඩ නැ‍ගෙන්නේ 1980 දශකයෙන් පසුවය. ආසියා, අප‍්‍රිකා සහ ලතින් ඇමෙරිකානු රටවල් අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයට ලක්ව පැවතීම හේතුවෙන් බොහෝ රටවල ස්වදේශීය ආර්ථිකය බිඳ වැටුණු අතර ප‍්‍රාදේශීය අසමානතාව, දරිද්‍රතාවය, සම්පත් හිඟකම සහ විරැකියාව වැනි සමාජ ප‍්‍රශ්න උද්ගත විය. මේ හේතුවෙන් අලූතින් නිදහස ලබා ගත් රටවල් වේගවත් සංවර්ධනයක් අපේක්ෂාවෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලදි. මෙම අවධියේ සංවර්ධනය වශයෙන් හඳුනා ගනු ලැබුවේ යටත්විජිත මව් අධිරාජ්‍යයන් විසින් අත්පත් කරගෙන සිටි ඉහළ ආර්ථික වෘද්ධියක් අත්පත් කර ගැනීමේ ක‍්‍රියාවලියයි. නමුත් මේ සඳහා අවශ්‍ය තාක්ෂණය හෝ ප‍්‍රාග්ධනය නොපැවති තුන්වල ලෝකයේ රටවල් සංවර්ධිත රටවල ණය, ආධාර සහ තාක්ෂණය මත රඳා පැවතුණි. සංවර්ධිත රටවලින් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් හඳුන්වා දුන් යුරෝපා කේන්ද්‍රීය සංවර්ධන ප‍්‍රතිපත්තිය ඉහළ සිට පහළට ගලා යන්නක් විය. සංවර්ධන ක‍්‍රියාදාමයේ වැඩසටහන් සැලසුම් කිරීම, ක‍්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසු විපරම යන ව්‍යාපෘති චක‍්‍රයේ සෑම අදියරක් තුළදීම දක්නට හැකි වූයේ එම ඉහළ සිට පහළට ගලා යන ප‍්‍රවේශයයි.

යුරෝපා කේන්ද්‍රීය සංවර්ධන ආකෘතිය තුළ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තීරණ ගනු ලැබුවේ ප‍්‍රජාවට පරිබාහිර පුද්ගලයන් හෝ ආයතන වෙතිනි. එබැවින් 1970 දශකයේ සංවර්ධනය පිළිබඳ යුරෝපා කේන්ද්‍රීය ආකෘතිය විශාල වශයෙන් විවේචනයට ලක් විය. ප‍්‍රජාවගේ අවශ්‍යතා නියෝජනය නොවීම, දේශීය දැනුම සහ සම්පත් නොසළකා හැරීම සහ ප‍්‍රජාව ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් වශයෙන් නොව ප‍්‍රතිලාභීන් වශයෙන් පමණක් සැළකීම යනාදී ලක්ෂණ හේතුවෙන් බොහෝ සංවර්ධන වැඩසටහන් අසාර්ථක වීම හේතුවෙන් ප‍්‍රජා සහභාගිත්වයෙන් දත්ත රැස් කර විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමයක අවශ්‍යතාවය පැන නැඟුණි. එනම් ප‍්‍රජාව පාර්ශවකරුවන් වශයෙන් සැළකෙන පහළ සිට ඉහළට සිදු වන සංවර්ධන ක‍්‍රියාවලියක අවශ්‍යතාවයයි. එවැනි ක‍්‍රමවේදයක අවශ්‍යතාවය පෙන්වා දුන් චින්තකයන් අතර රොබට් චේම්බර්ස් හට වැදගත් ස්ථානයක් හිමිවේ. රොබට් චේම්බර්ස් ඔහුගේ"Putting the last first"නම් කෘතියේ සංවර්ධනය බිම් මට්ටමේ සිට ඉහළට ගමන් කළ යුතු බව පෙන්වා දුන් අතර විශේෂයෙන් ග‍්‍රාමීය සංවර්ධනයේදී බිම් මට්ටමේ ප‍්‍රජාවන් තුළින් සංවර්ධන එළඹුමක් ගොඩනැඟිය යුතු බව පෙන්වා දෙයි. බටහිර කේන්ද්‍රීය සංවර්ධන එළඹුම ප‍්‍රජාවගේ හඬ නියෝජනය නොවීම සහ දුප්පතුන් බහිස්කරණය වීම වැනි හේතූන් මත අගතිගාමී ප‍්‍රවේශයක් වශයෙන් සළකන ලදි. මේ අනුව ප‍්‍රජා සංවර්ධනයේදී සහභාගිත්ව සංවර්ධන එළඹුම ජනප‍්‍රිය එළඹුමක් වශයෙන් සමාජගත විය.

රොබට් චේම්බර්ස් සහභාගිත්ව සංවර්ධනය නිර්වචනය කරන්නේ සංවර්ධන ප‍්‍රතිපත්ති සහ උපාය මාර්ග සැලසුම් කිරීම, ක‍්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසු විපරම යන සංවර්ධන ක‍්‍රියාකාරකම්වලදී සියලූ පාර්ශවකරුවන්ගේ ක‍්‍රියාකාරිත්වය සහ සමාන මැදිහත්වීමේ ක‍්‍රියාවලියවශයෙනි. මේ තුළින් පැහැදිලි වන්නේ සංවර්ධන ක‍්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා සෑම පියවරකදීම සියලූ පාර්ශවකරුවන්ගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය වැදගත් වන බවයි. මෙම ප‍්‍රවේශයේදී සංවර්ධන ක‍්‍රියාධරයන් විපර්යකාරකයන් බවට පත්වන අතර ප‍්‍රජාවට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. සහභාගිත්ව සංවර්ධන ක‍්‍රමවේදය තුළ ප‍්‍රතිලාභීන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, දේශීය සම්පත් සහ තාක්ෂණය උපයෝගී කර ගත හැකි වීම වඩාත් ඵලදායී වේ. එමෙන්ම ව්‍යාපෘතියේ ප‍්‍රතිඵල පිළිබඳ ප‍්‍රජාවට වගවීමක් පවතී. එබැවින් වර්තමානයේ බොහෝ සංවර්ධන වැඩසටහන්වලදී ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සහභාගිත්වය වැදගත් කොට සලකනු ලැබේ. සංවර්ධනය පිළිබඳ කටයුතු කරන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ රාජ්‍ය නොවන සංවිධාන වැනි අන්තර්ජාතික ප‍්‍රජාවන්ද වර්තමානයේ ඔවුන්ගේ ව්‍යාපෘති තුළින් ප‍්‍රජා සහභාගිත්වයට වැදගත් ස්ථානයක් ලබා දෙන්නේ ඒ තුළින් තිරසාර සංවර්ධන සංවර්ධන අභිමතාර්ථ කරා ළඟා වීමට පහසු හෙයිනි.

සහභාගිත්ව සංවර්ධන ක‍්‍රියාවලියේදී දත්ත රැස් කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමවේදයන් ප‍්‍රජාව මූලික කොටගෙන සිදු වන අතර එවැනි ක‍්‍රමවේද රාශියක් හඳුනාගත හැකිය. හරස්කඩ චාරිකා, දෛනික කාල භාවිතය විශ්ලේෂණය, වත්පොහොසත්කම් තාරාකරණය, දින දර්ශන භාවිතයෙන් ක‍්‍රියා විශ්ලේෂණය, වෙන් රූප සටහන්, ඓතිහාසික සිද්ධීන් විශ්ලේෂණය, සහභාගිත්ව සිතියම්කරණය සහ ආදර්ශක නිරූපණය වැනි ක‍්‍රම ශිල්ප භාවිතයෙන් දත්ත රැස් කිරීම මෙන්ම විශ්ලේෂණය කරනු ලැබේ. මේ තුළින් ස්වභාවික සම්පත් ව්‍යාප්තිය සහ භාවිතය මෙන්ම ප‍්‍රජාවගේ සමාජ ආර්ථික තොරතුරුද අනාවරණය කරගත හැකිය. සහභාගිත්ව සංවර්ධනය පිළිබඳ එළඹුම සංවර්ධනයට අවශ්‍ය තොරතුරු රැස් කිරීමේදී පමණක් නොව ගැටලු හඳුනා ගැනීම, සැලසුම් සම්පාදනය, ක‍්‍රියාත්මක කිරීම සහ ඇගයීම යන අවස්ථාවන්හිදී ද වැදගත් වේ.

සහභාගිත්ව සංවර්ධන එළඹුමෙහි අපේක්ෂිත අරමුණු ගණනාවක් පවතින අතර ප්‍රධාන කරුණු පහත ආකාරයට පෙන්වාදිය හැකිය.


වර්තමානය වන විට කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය, ස්වභාවික සම්පත් කළමනාකරණය, පරිසර සංරක්ෂණය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ධීවර ක්ෂේත‍්‍රය ආදී සෑම ක්ෂේත‍්‍රයකම පාහේ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීමේදී, සැලසුම් කිරීමේදී මෙන්ම ඉදිරියට නඩත්තු කරගෙන යාමේදී සහභාගිත්ව සංවර්ධනය උපයෝගී කරගන්නා ආකාරයක් දක්නට හැකිය. එයට හේතුව ප‍්‍රජාව ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් බවට පත්වීම අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීම පහසු කරවීමයි.

සහභාගිත්ව සංවර්ධනය ජනප‍්‍රිය එළඹුමක් වුවද විවිධ චින්තකයින් විසින් මෙහි පවතින සීමාකම් හේතු කොටගෙන විවේචන එල්ල කර ඇත. නිළධාරීන් හා ප‍්‍රජාව අතර මෙන්ම ප‍්‍රතිලාභීන් අතරද ගැටුම් ඇති කරවීම, පහළ සිට ඉහළට ගමන් කරන ක‍්‍රියාවලිය හරහා අනවශ්‍ය ලෙස ප‍්‍රමාදයට ලක් වීම, ප‍්‍රජා මට්ටමේ ප‍්‍රභූන් වැඩි වශයෙන් ඉලක්ක වීම සහ ඔවුන්ට ව්‍යාපෘති පාලනය කිරීමට හැකියාව ලැබීම සහ සමාජ සංස්කෘතික වශයෙන් පවතින ආකල්ප තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට නිෂේධනාත්මකව බලපෑම වැනි විවේචන ඉදිරිපත් කර ඇත. එහෙත් සහභාගිත්ව සංවර්ධනය වර්තමානය වන විටත් සංවර්ධන ක‍්‍රියාවලියේදී වැදගත් එළඹුමක් වශයෙන් පිළිගනු ලැබේ. එබැවින් ප්‍රජාව වෙත ප්‍රතිලාභ ගලා යාම සඳහා ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අගතීන්ගෙන් මිදී ප‍්‍රජාවේ සහභාගිත්වය ලබා ගැනීම වැදගත් වේ.






2 comments: