Wednesday, November 14, 2018

මහා සංස්කෘතියේ උපකුලකයක් වන ධීවර උපසංස්කෘතිය


සමාජය සහ සංස්කෘතිය අතර අවියෝජනීය සම්බන්ධතාවයක් පවතින අතර යම්කිසි සමාජයක ජීවත්වන සාමාජිකයන්ගෙන් බහුතරය විසින් දැනනියම කර ගත්තා වූ ජීවන රටාව ප‍්‍රධාන සංස්කෘතිය හෙවත් මහා සංස්කෘතිය ලෙස හැඳින්විය හැකිය. එම මහා සංස්කෘතියට බාධාවක් නොවන ආකාරයට මෙන්ම එම මහා සංස්කෘතියෙන් පැහැදිලිව වෙනස් වූ කණ්ඩායමක හැසිරීම් රටාව උපසංස්කෘතිය ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව උපසංස්කෘතිය යනු මහා සංස්කෘතිය නැමති කුලකයට අඩංගු උපකුලකයක් වැනිය.

කිසියම් උප සංස්කෘතියක් බිහිවීම කෙරෙහි අදාළ කණ්ඩායම හෝ සමූහය මහා සමාජයෙන් වෙන්වී පැවතීම, කණ්ඩායමේ සියලූ දෙනාම සමාන කාර්යයක නිරත වීම, කණ්ඩායමේ එකිනෙකා අතර අන්තර් ක‍්‍රියා පැවැත්වීම යනාදී නිර්ණායක කීපයක් බලපානු ලබයි. සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් අවධානය යොමු කිරීමේදී භාෂාව, ආගම, වාර්ගිකත්වය, කුලය, ප‍්‍රාදේශික විවිධත්වය, අධ්‍යාපනය, රැකියාව, ගිහි පැවිදි භේදය, ග‍්‍රාමීය නාගරික බව සහ ස්ත‍්‍රී පුරුෂභාවය වැනි සාධක පදනම් කරගෙන විවිධ උපසංස්කෘතීන් බිහිව ඇති බව විද්‍යමාන වේ. ශ‍්‍රී ලංකා සංස්කෘතිය තුළද එවැනි සාධක හේතු කරගෙන විවිධ උපසංස්කෘතීන් බිහිව ඇති අතර විශ්වවිද්‍යාල උපසංස්කෘතිය, කර්මාන්තපුර උපසංස්කෘතිය, ධීවර ප‍්‍රජාවගේ උපසංස්කෘතිය, භික්ෂු උපසංස්කෘතිය, යාචක උපසංස්කෘතිය, නාගරික මුඩුක්කු උපසංස්කෘතිය සහ හමුදා උපසංස්කෘතිය ඒ සඳහා නිදසුන් සපයයි. මෙම එක් එක් උපසංස්කෘතීන්ට ආවේණික හැසිරීම් රටාවන් දක්නට හැකි බව සමාජ විග‍්‍රහය තුළින් පැහැදිලි වේ. එබැවින් මෙම ලිපියෙන් සංස්කෘතිය සහ උපසංස්කෘතිය යන සංකල්ප පිළිබඳව හඳුනා ගනිමින් ධීවර උපසංස්කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කෙරේ.

සංස්කෘතිය පිළිබඳව සමාජ හා මානව විද්‍යාඥයන් විසින් විවිධ නිර්වචන සහ අදහස් ඉදිරිපත් කර තිබේ. බි‍්‍රතාන්‍ය මානවවිද්‍යාඥයෙකු වන ඊ.බී.ටයිලර් විසින් සිය Primitive Culture (ප‍්‍රාථමික සංස්කෘතිය) නම් ග‍්‍රන්ථයේ සංස්කෘතිය නිර්වචනය කර ඇත. එම නිර්වචනයට අනුව "සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගෙන ඇති දැනුම, විශ්වාස, කලා, සදාචාර, නීතිරීති, සිරිත් විරිත් හා අනෙකුත් හැකියාවන්ගේ සංකීර්ණ සමස්තය සංස්කෘතිය" වේ  (Tylor, 1871). ටයිලර් දක්වා ඇති ආකාරයට සංස්කෘතිය විවිධ අංශවලින් සමන්විත සංකීර්ණ වූවකි. එම අංග එකිනෙකට වෙන් කර සංස්කෘතියක් ඳුනාගත නොහැකිය. එය පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමෙන් ඉගෙන ගන්නා අතර හැසිරීම් රටාවේ  ඕනෑම අංගයක් සංස්කෘතියේ කොටසක් වශයෙන් සලකනු ලබන්නේ එය සමාජයේ බහුතරයක් විසින් පිළිගැනීමෙන් පසුවය. මේ අනුව සංස්කෘතිය යනු පුළුල් අර්ථයක් අන්තර්ගත සංකල්පයක් වශයෙන් ඳුනාගත හැකිය.

සමාජීයවිද්‍යා විශ්වකෝෂයට අනුව "සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමි කර ගත්තා වූද, පාරම්පරික වශයෙන් අත්පත් කොට ගත්තා වූද, සියලූම චර්යා රටාවන්ට දිය හැකි සාමූහික නාමය සංස්කෘතිය වේ" (හේමන්ත, 2006). මෙම නිර්වචනයට අනුව සමාජීය සත්වයෙකු වශයෙන් මානවයා විසින් සිදු කරන හැසිරීම් රටාව සංස්කෘතිය වේ. මෙහිදී සංස්කෘතික සංකේතවලට වැදගත්කමක් හිමි වන අතර පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමේ රටාවක් පවතින බවද දක්නට ලැබේ. 

උපසංස්කෘතිය පිළිබඳව විද්වතුන් විසින් විවිධ නිර්වචන සහ අදහස් දක්වා ඇත. ලෙවින්ගේ නිර්වචනයට අනුව "උපසංස්කෘතියක් යනු යම්කිසි අවබෝධයන් සමූහයක් සහ හැසිරීම් රටා සමූහයකි. මේවා තුළින් යම්කිසි ප‍්‍රාදේශීය, ජනවාර්ගික හෝ රැකියාවකට අයිති කණ්ඩායමක් සමාජයේ අනෙකුත් සාමාජිකයන්ගෙන් වෙන් කොට දක්වයි. ඇල්බට් කොහෙන් ඔහුගේ Delinquent Boys නම් කෘතියේ අදහස් දක්වන ආකාරයට "උපසංස්කෘතිය යනු එකම සංස්කෘතික රාමුවකට අනුගත වූ එක සමාන විශ්වාස හා ක‍්‍රියාකලාපයන් බෙදාහදා ගන්නාවූ පිරිසක් තුළ ඇති වන අන්තර් ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් වශයෙන් බිහි වන්නකි" (Cohen, 1955). මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් උපසංස්කෘතිය නිර්වචනය කරන ආකාරයට "සමාජයක් ඇතුළත බොහෝ අනුකොටස් දක්නට ඇති අතර එම අනුකොටසට පමණක් සුවිශේෂී වූ ජීවන රටාව උපසංස්කෘතියක්" වේ (රත්නපාල, 2001). මෙම නිර්වචනයට අනුව උපසංස්කෘතිය තුළ සිටින සාමාජිකයන් ප‍්‍රධාන සමාජයේ සංස්කෘතිය පිළිගන්නා අතර ඔවුන්ට සුවිශේෂී අංගවලටද අනුගත වේ.

ශ‍්‍රී ලංකා සමාජය තුළ රැකියාව පදනම් කරගනිමින් උපසංස්කෘතික හැසිරීම් රටාවන් පෙන්නුම් කරන කණ්ඩායමක් වශයෙන් ධීවර ප‍්‍රජාව හඳුනාගත හැකිය.

විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිතව ධීවර කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ධීවර කාර්මිකයින් තුළ ඔවුන්ට ආවේණික සංස්කෘතියක්, හැසිරීම් රටා පද්ධතියක් දක්නට ලැබේ. ඔවුන් ස්වභාවික භූ ලක්ෂණවල බලපෑම සහිතව සෙසු ප‍්‍රදේශවල ජනතාවගෙන් වෙනස් වූ ජීවන රටාවක් අනුගමනය කරනු ලබයි. ඔවුන්ගේ ජන ජීවිතය මුහුද හා බැඳී පවතින හෙයින් කතා කරන භාෂා රටාවන්ද වෙනස් වේ. කහඳගමගේ (2004) දක්වන ආකාරයට ධීවර සංස්කෘතිය තුළ වෘත්තීය ගෞරවය, භක්තිය, අමනුෂ්‍ය බලවේග කෙරෙහි ඇති බිය වැනි හේතු සාධක මත පරිමිත භාෂා ස්වරූපයක් නිර්මාණය කරගෙන ඇත. ඒ අනුව ධීවර කටයුතු සිදු කිරීමේදී ඒ හා බැඳුණු වචන මාලාවක් භාවිත කරනු ලබයි. පොදුවේ භාවිත කරන භාෂා ව්‍යවහාරයන්ට අමතරව රැකියාවේ ස්වභාවය අනුව එනම් මාදැල් රැකියාව, කට්ටුදැල් රැකියාව යනාදී වශයෙන් රැකියාවේ ස්වභාවය අනුවද වෙනස් භාෂා රටාවන් භාවිතයට එක්වී තිබේ. පහත දැක්වෙන්නේ එසේ භාවිත කරන වචන කීපයකි.

·        ඉයත්තුව- කාලගුණය
·        මාළු අයින- මාළු රංචුව
·        මාරියාව- මුහුද මැද දරුණු රැළි ගැසීම
·        දියඹ- මුහුද
·        දිය අත- මුහුදු රළ ගමන් කරන දිශාව
·        ගඟුලාව- වැස්ස
·        වාරකං- මුහුද සැර කාලය
·        වඩදිය- මුහුදු මට්ටම ඉහළ යාම
·        බාදිය- මුහුදු මට්ටම පහත යාම
·        දියාළුව- යාත‍්‍රාව තුළට එන ජලය ඉවත් කරන උපකරණය
·        වළාලය- මුහුදේ රළු බව අඩුවී සාමාන්‍ය තත්ත්වයට පත්වීම
·        වල්කෙළ- දියඹේ පිහිටි ගල් පර්වත, මත්ස්‍ය වාසස්ථාන
·        වැහි කෝඩය- වහින ලකුණු
·        මා ඉක්කන්- සවස් කාලයේ මුහුදු යාම
·        පැස- මාළු දමන කූඩය
·        ලෙල්ලම- මාළු විකුණන ස්ථානය

ධීවර භාෂාව තුළද ප‍්‍රාදේශීය උපභාෂාත්මක ලක්ෂණ දක්නට ලැබේ. එකී විෂමතාවයන් දකුණ, බස්නාහිර වශයෙන් හඳුනා ගන්නා ප‍්‍රධාන උපභාෂාත්මක කලාප තුළ පමණක් නොව එම එක් උපභාෂාත්මක කලාපයක් තුළ වුවද දක්නට ලැබීම විශේෂ ලක්ෂණයකි. 

ධීවර භාෂාව තුළින් ධීවර ප‍්‍රජාවගේ විශ්වාස පද්ධතිය යම්තාක් දුරකට හෙළිවේ. ඔවුන් තුළ විවිධ අභිචාර දක්නට හැකි අතර දකුණේ ධීවරයන් අතර පවතින විශ්වාසයක් වන්නේ කළුවාදී යාලූවා පිළිබඳ ඇදහීමයි. මුහුදු යන ධීවරයින්ට මසුන් අල්ලා දෙන අමනුෂ්‍ය බලවේගය ලෙස සළකා විවිධ පිළිවෙත් අනුගමනය කරනු ලබයි. සාම්ප‍්‍රදායික ධීවරයින් සතුව මෙවැනි චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳව අවබෝධය සහ දැනුම පවතී. එමෙන්ම මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කාර්මිකයින් මුහුදු යාමට පෙර සිය ආගම සිහි කර ගන්නේ ඒ තුළින් ඔවුන්ට ආරක්ෂාව සැලසෙන බව විශ්වාස කරන හෙයිනි. සාම්ප්‍රදායික අවධියේ සිට මේ දක්වා පහුරු, ඔරු, වල්ලම්, තෙප්පම් සහ විශාල යාන්ත්‍රික බෝට්ටු ආදී විවිධ යාත්‍රා උපයෝගී කර ගනිමින් ධීවර කර්මාන්තයේ නිරත වේ. 

මත්ස්‍ය බිම්වල සිටින මසුන් අල්ලා ගැනීමට කරක්ගෙඩිය, බිලීපිති, දැල් සහ අතංගු වැනි උපකරණ භාවිත කෙරේ. නොගැඹුරු මුහුදේ පමණක් නොව ගැඹුරු මුහුදේ ද ධීවර කටයුතු සිදු කරමින් මත්ස්‍ය සම්පත් නෙළා ගනියි. ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා ගමන් කරන යාත්‍රා බහු දින ධීවර යාත්‍රා නමින් හැඳින්වෙන අතර එවැනි ධීවර කාර්මිකයින්ගේ ජීවන රටාවද සුවිශේෂී වේ. ඔවුන් දින සති ගණන් එක දිගට ධීවර කටයුතුවල නිරත වේ. දියඹට යාත්‍රා කොට අල්ලා ගන්නා මසුන් අලෙවි කොට ආදායම බෙදා ගන්නා ජීවන රටාවකට ඔවුන් හුරු වී සිටියි. 

මේ ආකාරයට ධීවර ප‍්‍රජාවට ආවේණික උපසංස්කෘතියක් බිහිවී ඇති අතර එය මහා සංස්කෘතියෙන් බොහෝ දුරට වෙනස් වේ. ශ‍්‍රී ලංකාවේ ධීවර ප‍්‍රජාව සතුව පවතින උපසංස්කෘතික ලක්ෂණ ඔවුන්ගේ රැකියාව පදනම් කරගෙන නිර්මාණය වූවක් බව පැහැදිලි වේ. සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් ධීවර ප්‍රජාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඔවුන්ගේ සමාජ සංස්කෘතික පැතිකඩ පිළිබඳ අවබෝධය වැදගත් වනු ඇත. 








No comments:

Post a Comment