Thursday, May 23, 2019

නව ලිබරල්වාදය මතුවීමට බලපෑ සමාජ, ආර්ථික සහ සංස්කෘතික සාධක පිළිබද විමසීමක්


මධ්‍යතන යුරෝපයේ සමාජගත වූ ලිබරල්වාදය දේශපාලන මතවාදයක් මෙන්ම ධනේෂ්වර ආර්ථික ක‍්‍රියාවලිය පිළිබඳ එක්තරා ආකෘතියක්ද වේ. ධනවාදී සමාජ ක‍්‍රමයේ දේශපාලන මතවාදය වශයෙන් සමාජයට පැමිණි ලිබරල්වාදය ධනපති ක‍්‍රමයේ විකාශනයත් සමඟ කාලානුරූපීව සංශෝධනය වෙමින් සහ ප‍්‍රතිසංස්කරණයට භාජනය වෙමින් අවස්ථා තුනකදී ඉදිරියට පැමිණ තිබේ. එනම් සම්භාව්‍ය ලිබරල්වාදය, නූතන ලිබරල්වාදය සහ නව ලිබරල්වාදය යනුවෙනි.

නව ලිබරල්වාදය යනු ”පෞද්ගලික දේපළ අයිතිය, නිදහස් වෙළඳපොළ සහ නිදහස් වෙළඳාම යන ලක්ෂණවලින් සමන්විත ආයතනික රාමුවක් යටතේ පුද්ගලික ව්‍යවසායකත්ව නිදහස සහ හැකියාවන් වර්ධනය කිරීම මඟින් මානවයාගේ යහපත දැකිය හැකි බව යෝජනා කරන දේශපාලන ආර්ථික භාවිතයන් පිළිබඳ න්‍යායකි. රාජ්‍යයේ කාර්යයභාරය වන්නේ මෙම තත්ත්වයන් තුන තහවුරු කිරීමයි”. මේ අනුව නව ලිබරල්වාදීන්ගේ මූලික තර්කය වන්නේ අවම රාජ්‍යයක් තුළ නිර්බාධවාදය බලාත්මක කිරීමය.

නව ලිබරල්වාදයේ ක‍්‍රියාකාරිත්වය තුළින් රාජ්‍යය වෙළඳපොළ කෙරෙහි මැදිහත්වීම අවම විය යුතු අතර රාජ්‍ය වියදම් අවම කිරීම, සහනාධාර කප්පාදු කිරීම, මිල පාලනය කිරීමෙන් ඉවත්වීම, බදු නීති ප‍්‍රතිසංස්කරණය සහ බදු පදනම පුළුල් කිරීම, වෙළඳපොළ ආරක්ෂණවාදයෙන් විවෘත කිරීම, රාජ්‍ය සතු ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම, පෞද්ගලික දේපළ ක‍්‍රමයට ඉඩදීම සහ විදේශ භාණ්ඩ සහ ප‍්‍රාග්ධන ආයෝජන සඳහා දේශසීමා විවෘත කිරීම ආදී ලක්ෂණ හඳුනාගත හැකිය. 1980 දශකයේ ඉදිරියට පැමිණි නව ලිබරල්වාදය වර්තමානය වන විට සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් වැදගත් මෙන්ම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් සහිත සංයුක්ත මතවාදයක් බවට පත්ව තිබේ. මෙයට බලපා ඇති හේතු සාධක සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික යනාදී විවිධ අංශයන්ගෙන් හඳුනාගත හැකිය.

නව ලිබරල්වාදය යනු ලිබරල්වාදයේම නව අර්ථකථනයකි. මේ නිසා ලිබරල්වාදය හා බැඳි පොදු අදහස් නව ලිබරල්වාදය තුළ දක්නට ලැබේ. ලිබරල්වාදයේ ආර්ථික ප‍්‍රවාදය ගොඩනැඟූ ප‍්‍රධානතම මතධාරියා වූයේ ඇඩම් ස්මිත්ය. ඇඩම් ස්මිත් විසින් 1776 දී රචනා කළ An inquiry into the nature and cause of the wealth of nations නම් කෘතිය තුළින් තනි පුද්ගලයන් හට නිදහසේ තරඟ කිරීමට සම අයිතිය සහ නිදහස ලැබිය යුතු බවට අදහස් ඉදිරිපත් කළ අතර නිදහස් වෙළඳපොළ ක‍්‍රමය වැදගත් කොට සළකන ලදි. මෙම කෘතිය තුළින් ”ධනවාදී ආර්ථික ක‍්‍රමය හැසිරවීම සඳහා දේශපාලන හස්තයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අදෘෂ්‍යමාන හස්තයක් පවතී. එනම් මිල යාන්ත‍්‍රණයයි” යනුවෙන් දක්වා ඇත. (අබේරත්න, 2015). ඒ අනුව රජය ආර්ථික කටයුතුවලින් ඉවත්විය යුතු බවත් නිෂ්පාදනය නිදහස් විය යුතු බවත් දක්වයි. එමෙන්ම ඬේවිඞ් රිකාඩෝ පෙන්වා දෙන්නේ කාර්මික සහ ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ රජය විසින් පනවා ඇති නීතිරීති වහා ඉවත්කොට වෙළඳපොළෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව ඒවාට ක‍්‍රියාත්මක වීමට නිදහස ලබාදිය යුතු බවය (ප‍්‍රනාන්දු, 1981). මේ ආකාරයට ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් වූ අදහස් නව ලිබරල්වාදය ඉස්මතු වීමට හේතු වූ බව සඳහන් කළ හැකිය.
  • සුබසාධනය රාජ්‍යයේ පැන නැඟීම සහ එහි අසාර්ථකත්වය

මධ්‍යතන යුගයේ යුරෝපයේ පමණක් නොව ලෝකයේ සෙසු රටවල පවා විශාල සමාජ පරිවර්තනයක් ඇති කළ සංසිද්ධිය බවට පත්වූයේ කාර්මික විප්ලවයයි. කාර්මීකරණය සහ වාණිජ්‍යකරණය විසින් 19 වන ශතවර්ෂය වන විට යුරෝපය තුළ ධනේෂ්වර ආර්ථිකයේ විශාල අර්බුදයක් නිර්මාණය කර තිබිණි. කාර්මීකරණය වඩාත් ව්‍යාප්ත වූ එංගලන්තයේ මෙම අර්බුදය උග‍්‍ර විය. රාජ්‍ය නිර්බාධවාදී ප‍්‍රතිපත්තිය මඟින් පුද්ගලයාගේ ආර්ථික නිදහස තහවුරු වූ අතර එහි සැබෑ අරුත වූයේ ව්‍යවසාය පිළිබඳ නිදහස තහවුරු වීමය. මේ යටතේ පුද්ගලයාට භාණ්ඩ වෙළඳපොළ බලවේගයන් හැසිරවීමටත් ශ‍්‍රම වෙළඳපොළ හැසිරවීමටත් පුළුල් නිදහසක් හිමිවිය. මේ තුළින් සත්‍ය වශයෙන්ම සිදු වූයේ ප‍්‍රාග්ධන හිමි ධනපති පංතියේ නිදහස තහවුරු වීමකි. මේ අනුව ධනපති පංතියට නිර්ධන පංතියේ ශ‍්‍රමය සූරාකෑමේ පුළුල් අවකාශයක් නිර්මාණය විය. මෙම ශ‍්‍රමිකයන්ගෙන් දිනකට පැය 10 සිට 14 දක්වාත් ඇතැම්විට 16 දක්වාත් වැඩකරවා ගැනීමට කිසිම බාධාවක් හෝ සීමාවක් රජය විසින් පනවා නොතිබූ බැවින් ධනේෂ්වර ව්‍යවසායකයන් ඉතා අමානුෂික අන්දමින් කම්කරු ශ‍්‍රමය සූරාකෑමට ලක්වූයේ කම්කරුවන්ගෙන් දිනකට වැඩි පැය ගණනක් සේවය ලබා ගැනීම, ඉතා අවම වැටුප් ගෙවීම, විශ‍්‍රාම වැටුප්, අතිකාල දීමනා සහ සේවක වන්දි මුළුමනින්ම පැහැර හැරීම, සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නොසලකා හැරීම යනාදී වශයෙනි. ස්ත‍්‍රීන්ගේ සහ කුඩා දරුවන්ගේද ශ‍්‍රම සූරාකෑමක් සිදු වූ අතර මෙම කර්මාන්තශාලා තුළ විවිධ අනතුරු සහ රෝගවලට පවා ගොදුරු විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ සමාජයේ බහුතරය වන කම්කරු සහ පීඩිත ජනතාව දරිද්‍රතාවයේ අන්තයට ඇද වැටීමය.

ප‍්‍රාග්ධන සූක්ෂම කර්මාන්ත ව්‍යාප්ත වීමත් සමඟ ශ‍්‍රමිකයන්ට රැකියා අහිමි කිරීමට කර්මාන්තශාලා හිමියන් පියවර ගැනීමෙන් විරැකියාව පිළිබඳ ප‍්‍රශ්නය පැන නැඟීමෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ. තවද මන්දපෝෂණය, රෝගී බව මෙන්ම කම්කරු ශ‍්‍රමය නගර කරා ඇදී ඒම තුළින් නාගරික තදබදය, මුඩුක්කු ප‍්‍රශ්නය සහ තවත් සමාජ ප‍්‍රශ්න රාශියක් උද්ගත විය. මෙකී සියලූ තත්ත්වයන්ට මූලික හේතුව වූයේ ධනපති පංතිය විසින් ලාභ උපරිමනය කර ගැනීමට අනුගමනය කළ ක‍්‍රියාකලාපයයි.

නූතන ලිබරල්වාදයේදී රාජ්‍ය පොදු ජනතාවගේ සුබසාධනය කෙරෙහි මැදිහත්විය යුතු බවට ඉදිරිපත් වන මතවාදය සමාජගත විය. ජේම්ස් මිල්, ජෝන් ස්ටුවට් මිල් සහ ජෝන් මෙනාඞ් කේන්ස් යනාදීන් රාජ්‍ය සුබසාධනවාදය පිළිබඳව න්‍යායාත්මක අදහස් දක්වා තිබේ. ඒ අනුව රජය සමාජයේ පීඩාවට පත්ව සිටි ජනතාව නඟා සිටුවීම සඳහා දෙයාකාරයකට සමාජ සුබසාධන කටයුතු ක‍්‍රියාත්මක කරන ලදි. එනම් පොදු සමාජ අභිවෘද්ධිය ඇති කිරීම සදඟා අවශ්‍ය නීති සැකසීම සහ සමාජයේ මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි සමාජ කොටස් සඳහා සහනාධාර ලබා දීම යනුවෙනි. මෙහිදී වැඩිහිටි පුරවැසියන්, රෝගීන්, ආබාධිතයන් සහ දුප්පතුන් යනාදී කොටස්වල ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී අවශ්‍යතා සපුරාලීම සඳහා ධනපතියන්ගෙන් අයකර ගනු ලබන බදු මුදල් මඟින් සුබසාධන සේවා ලබා දීම සිදු විය. කේන්සියානු සුබසාධන රාජ්‍ය දෘෂ්ටිය වෙනුවට නව ලිබරල්වාදයේදී නිදහස් වෙළඳපොළ පදනම් කරගත් නව රාජ්‍ය දෘෂ්ටියක් ඉදිරිපත් වේ.

සුබසාධන රාජ්‍යය අසාර්ථකත්වයට පත්වීම නව ලිබරල්වාදයේ ඉස්මතු වීමට ප‍්‍රබලව බලපා ඇති කරුණකි. සුබසාධන රාජ්‍යයක් නිර්මාණය කළත් දුප්පත්කම, විරැකියාව වැනි ගැටලුවලට විසඳුම් ලැබුණේ නැත. ඒ අනුව අපේක්ෂිත පරමාර්ථ සාධනය කරගත නොහැකි වීම තුළින් සුබසාධනය විවේචනයට ලක් විය. සුබසාධනය ජනතාවට සේවා සපයන යාන්ත‍්‍රණයකට වඩා රාජ්‍ය ප‍්‍රසාරණය කිරීමේ මාධ්‍යයක් විය. සුබසාධනය වියදම් අධික ක‍්‍රියාවක් වීම, යැපුම් මානසිකත්වයක් ඇති වීම හේතුවෙන් ස්වයංක‍්‍රීයව දරිද්‍රතාවයට පත්වීම, නිළධාරිවාදී ආඥා දායකත්වයක් බිහිවන බවට ඉදිරිපත් වූ අදහස සහ සුබසාධනයෙන් රාජ්‍ය විශාල වශයෙන් ප‍්‍රසාරණය වන අතර පුද්ගල නිදහස හා ගරු කිරීම පහළ යන බවට ඉදිරිපත් වූ අදහස යනාදී වශයෙන් සුබසාධනවාදයට එල්ල වූ විවේචන සමඟ නව ලිබරල්වාදයේ නැඟීම තවදුරටත් ශක්තිමත් වේ. මෙම තත්ත්වය මත 1973 වන විට යළිත් ලෝක ආර්ථික අර්බුදයක් ඇතිවීමද ධනවාදී රාජ්‍යයන්ට සුබසාධන ආකෘතියෙන් බැහැරව යළිත් වරක් ආර්ථිකයෙන් රජය හකුළුවා ගැනීමට සහ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියක් වෙත නැඹුරු වීමට හේතු විය. 
  • ලෝකයේ ධනවාදී සහ සමාජවාදී වශයෙන් බල කඳවුරු දෙකක් නිර්මාණය වීම

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු ලෝක දේශපාලනය සහ බල තුලනය තුළ සිදුවන වෙනස්කම් හරහා වෙළඳපොළ කෙරෙහි රාජ්‍ය මැදිහත්වීමේ ස්වභාවය වෙනස් කිරීමටද බලපෑම් කරන ලදි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ධනවාදී කඳවුර සහ රුසියාව ප‍්‍රධාන කොටගත් සමාජවාදී කඳවුර අතර බල අරගලයක් ඇතිවේ. මෙය ”සිසිල් යුද්ධයක්” ලෙස හැඳින්වේ (වීරසිංහ, 2002). දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාව ලොව බලවතා වශයෙන් නැඟී සිටියි. ඊට සාපේක්ෂව මහා බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය සහ ජර්මනිය වැනි බටහිර රාජ්‍යයන් දුර්වල විය. යුද්ධයෙන් බිඳවැටුණු යුරෝපය නැවත ගොඩනැඟීමට ඇමෙරිකාව විසින් සකසන ලද වැඩපිළිවෙළ ”මාර්ෂල් සැලැස්ම” (1948- 1952) නම් වෙයි. මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ ඇමෙරිකානු ආධිපත්‍යය බටහිර යුරෝපය තුළ ස්ථාපිත කිරීම සහ සෝවියට් සංගමයටත්, ජාතික විමුක්ති ව්‍යාපාරයටත්, සමාජවාදී කඳවුරටත් විරුද්ධව යුරෝපා අධිරාජ්‍යවාදී රටවල ඒකාබද්ධ පෙරමුණක් නිර්මාණය කිරීමය. වර්තමාන ලෝකයේ ක‍්‍රියාත්මක වන නව ලිබරල්වාදී ආකෘතිය ඉස්මතු වීමට දේශපාලනික වශයෙන් මතු වූ සිසිල් යුද්ධයේ දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පැහැදිලි වේ.
  • අන්තර්ජාතික ආයතන පද්ධතියක් ස්ථාපිත වීම

ලෝක භූ දේශපාලනයේ සිදුවන ව්‍යූහාත්මක වෙනස්කම් නව ලිබරල්වාදය ඉස්මතු වීමට බලපා ඇති බව පෙන්වාදිය හැකිය. ඒ අනුව දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සකස් කරන ලද නව ආර්ථික හා දේශපාලන සැලැස්ම ”බ්‍රෙට්න් වුඞ්ස් ගිවිසුම” යනුවෙන් හඳුන්වයි (සිතිජය මාධ්‍ය සංසදය, 2003). ඒ වන විට ලෝක පරිමාණයෙන් බිඳ වැටී තිබූ මූල්‍ය ක‍්‍රමය සහ අන්තර්ජාතික වෙළඳාම නැවත ගොඩනඟමින් සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීම අරමුණු කොටගෙන ප‍්‍රධානතම මූල්‍ය ආයතන දෙකක් ස්ථාපිත කරන ලදි. එනම් පොදුවේ බ්‍රෙට්න් වුඞ්ස් ආයතන ලෙස නම්කරන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (ලෝක බැංකුව) යන්නයි.

මුල් අවධියේ මෙකී ආයතන ධනේෂ්වර රටවල ප‍්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා අවශ්‍ය ණය සැපයීමත්, තාක්ෂණික ආධාර සැපයීමත් ප‍්‍රමුඛස්ථානයක් ගත්තේය. පසුව මෙම අන්තර්ජාතික ආයතන සිය සැලසුම් සහ මෙහෙයුම් නව ආකාරයකට පරිධියේ පසුගාමී නව ජාතික රාජ්‍යයන් වෙත ඉලක්ක කරයි. මෙම නව තත්ත්වය තුළ ලෝක බැංකුව සිය අරමුණ ලෙස ”තිරසාර ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඇති කිරීම තුළින් දිළිඳුකම පිටුදැකීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම” යනුවෙන් ප‍්‍රකාශ කළේය. මෙයද කේන්ද්‍රයේ සූරාකෑමේ තවත් ක‍්‍රියාන්විතයක් වශයෙන් හඳුනාගත හැකිය. ලෝක බැංකුවේ මෙම ක‍්‍රියාමාර්ගය වඩා විධිමත් අයුරින් ඉදිරියට ගෙන යාම සඳහා එයට අනුබද්ධිතව තවත් ආයතන කීපයක් වරින්වර එකතු විය. නිදසුන් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව, අන්තර්ජාතික සංවර්ධන සංගමය, බහු පාර්ශවීය ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය, ආයෝජන ආරවුල් සමතයකට පත්කිරීම සඳහා වන අනුතර්ජාතික මධ්‍යස්ථානය යනාදිය පෙන්වාදිය හැකිය. මෙම ජාත්‍යන්තර ආයතන පද්ධතිය තුළින් නව ලිබරල්වාදී ආකෘතිය ඉස්මතු වීමට අවකාශය සකස් කර ඇත.

1970 දශකයේදී ලෝක පරිමාණයෙන් ඇති වූ ආර්ථික අර්බුදය හේතු කොටගෙන ලෝක බැංකුව එතෙක් ක‍්‍රියාත්මක කළ ආර්ථික න්‍යායෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. රටක ආර්ථික කටයුතුවලින් රජය ඉවත්විය යුතු බවත් එය පෞද්ගලික අංශය යටතට පැවරිය යුතු බවත් තීරණය කළ ලෝක බැංකුව එම ආර්ථික උපායමාර්ගය සිය සාමාජික රාජ්‍යයන් තුළ ක‍්‍රියාත්මක කිරීමට නිර්දේශ සකස් කර ඇත. මේ අනුව ලෝක පරිමාණව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කෙරෙන අතර 1980 දශකය තුළ ඒ සඳහා ”ව්‍යූහාත්මක ගැළපුම්” සැකසෙයි. නිදසුනක් වශයෙන් ශ‍්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදීම පෙන්වාදිය හැකිය. මෙහිදී විදේශ ආයෝජනයන්ට අවස්ථාව ලබාදීම, යටිතල පහසුකම් සපයා දීම, සන්නිවේදන පහසුකම් හඳුන්වා දීම සහ වෙළඳපොළ සීමා ලිහිල් කිරීම සිදුවූ අතර අවශ්‍ය පහසුකම් සැපයීමට මුදල් සපයාගෙන ඇත්තේ සුබසාධනය කප්පාදු කිරීමෙනි. එය ලෝක බැංකුව වෙතින් ඉදිරිපත් කළ නිර්දේශයකි. මේ අනුව නව ලිබරල්වාදය ඉස්මතු වීමට දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු අන්තර්ජාතික වශයෙන් ගොඩනැඟෙන ආයතනික පද්ධතිය හේතු වන බව පෙන්වාදිය හැකිය.
  • 1970 දශකයේ ආර්ථික අර්බුදයක් උද්ගත වීම

1930 දශකයෙන් පසු 1970 දශකයේදී ලෝකයේ නැවත ආර්ථික අර්බුදයක් මතු වූයේ තෙල් මිල ශීඝ්‍රෙයන් ඉහළ යාම හේතුවෙනි. මේ නිසා ලෝකයේ ප‍්‍රධාන පෙළේ ධනවාදී රටවල් මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණපාන ලදි. ආර්ථික වර්ධන වේගය පහත වැටීම, සේවා වියුක්තිය ඉහළ යාම, මිල මට්ටම් ශීඝ‍්‍රයෙන් ඉහළ යාම, ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය උග‍්‍රවීම, විදේශ වෙළඳාමේ වර්ධන වේගය පහත බැසීම, ඩොලරය අවප‍්‍රමාණ වීම, පොලී අනුපාතය ශීඝ‍්‍රයෙන් ඉහළ යාම සහ විනිමය අනුපාත අස්ථාවර වීම යනාදිය ආර්ථික අර්බුදයේ ලක්ෂණ විය. මෙම තත්ත්වය යටතේ කේන්සියානු ප‍්‍රතිකර්ම එලෙසින්ම යොදා ගැනීමට නොහැකි වූ අතර සුබසාධන ප‍්‍රතිපත්තියෙන් බැහැරව නව මඟකට එනම් නව ලිබරල්වාදය වෙත ප‍්‍රවේශ වීමට සිදු විය.
  • සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීම සහ අධිරාජ්‍ය විරෝධී ජනතා අරගල දුර්වල වීම

1980 දශකයෙන් පසු නව ලිබරල්වාදය ශක්තිමත් වීමට අවශ්‍ය වාසිදායක දේශපාලන වටපිටාවක් නිර්මාණය විය. සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපයේ පැවති සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීම සහ අධිරාජ්‍ය විරෝධී ජනතා අරගල දුර්වල වීම මත නව ලිබරල්වාදයට පැවති බාධාවන් ඉවත් වීමත් සමඟ ගෝලීය ප‍්‍රාග්ධනයට නව භූමි ප‍්‍රදේශයන් විවෘත වේ. විශේෂයෙන්ම සමාජවාදී ලෝකයේ පරිහානිය තුළ අධිරාජ්‍යවාදී සමාජ ආර්ථික සහ දේශපාලන බලවේගයන්ට ලෝකය තුළ නිරුපද්‍රිතව හැසිරීමේ අවකාශය සැලසුණි. මේ අනුව ජාතික රාජ්‍යයේ සීමාව ඉක්මවා වෙළඳපොළ ආර්ථිකය ලොව පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය.
  • ගෝලීයකරණය සමඟ නව ලිබරල්වාදය ශක්තිමත්ව ඉස්මතු වීම

ගෝලීයකරණය යනු නව ලිබරල්වාදය ශක්තිමත් කිරීමට බලපා ඇති ප‍්‍රබල සාධකයකි. මීට අවශ්‍ය න්‍යායාත්මක පදනම සකස් කරනු ලැබුවේ රොබට් මැක්නමාරා, මාග‍්‍රට් තැචර් සහ රොනාල්ඞ් රේගන් යනාදීන් විසිනි. නව ලිබරල්වාදය පිළිබඳ මතවාදය වඩාත් සංවිධානාත්මක ආකෘතියකින් ඉදිරිපත් කරන ලද්දේ 1973 වන විට ලෝක බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කළ රොබට් මැක්නමාරා විසිනි. 1975 ”නයිරෝබී දේශනය” තුළින් ”නිදහස් වෙළඳපොළ ආර්ථිකයක්” යන අදහස කරළියට ගෙනෙන ලදි. එහිදී තවදුරටත් සුබසාධනවාදී ධනවාදයට පැවැත්මක් නොමැති බවත් ධනවාදය විසින් නව ආකෘතියක් ඉල්ලා සිටින බවත් මැක්නමාරාගේ අදහස විය. ඔහු එම නව ආකෘතිය ”නව ලිබරල්වාදය” නමින් හඳුන්වා ඇත. මැක්නමාරාගේ නව ලිබරල්වාදී අදහස් මත පදනම් වෙමින් නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමට රොනාල්ඞ් රේගන් ප‍්‍රතිසංස්කරණ සිදු කරන අතර මේ නිසාම ඇමෙරිකාව තුළ නව ලිබරල්වාදය රේගන්වාදය වශයෙන් හඳුන්වන ලදි. 

මැක්නමාරා විසින් ප‍්‍රසිද්ධියට පත් කළ නව ලිබරල් ආකෘතිය බි‍්‍රතාන්‍යයේ ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නංවනු ලබන්නේ තැචර් විසිනි. 1980 දශකය වන විටත් බි‍්‍රතාන්‍යය තුළ පැරණි වැඩවසම් ලක්ෂණ ශේෂව පැවති බැවින් නව ලිබරල්වාදය ක්‍රියාවට නැංවීමේදී වඩා සැළකිලිමත්ව න්‍යාය පත‍්‍රය සකස් කරන අතර නව ලිබරල්වාදය බි‍්‍රතාන්‍යයේ තැචර්වාදය ලෙස නාමකරණයට ලක් වන්නේ ඒ නිසාවෙනි. 1980 දශකයේ ආර්ථික ක්‍ෂේත‍්‍රය තුළ ද්‍රව්‍යමය වශයෙන් හඳුනාගත් නව ලිබරල්වාදය වර්තමානය වන විට සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් සංයුක්ත මතවාදයක් බවට පත්ව තිබේ. 

ගෝලීයකරණය මඟින් සමස්ත ලෝකය ඒකරාශී කරන වටපිටාවක් නිර්මාණය විය. ඒ සඳහා පරිගණක සහ තොරතුරු තාක්ෂණයේ නව ක‍්‍රමවේදයන් යොදා ගන්නා ලදි. නව නිදහස් වෙළඳපොළට උචිත ආකාරයෙන් සන්නිවේදන තාක්ෂණය යොදාගත් අතර මෙම තත්ත්වය හමුවේ ලෝකයේ සෑම රටකටම පාහේ නව ලිබරල් ධනවාදය වැළඳ ගැනීමට බල කෙරෙන නව අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළ පෙර පැවති ආකාරයට වඩා ඉතා සූක්ෂම ආකාරයෙන් ක‍්‍රියාත්මක විය. මේ අනුව සුබසාධන කප්පාදුවට ලක් කරමින් ආර්ථික අර්බුදයට විසඳුම් සපයමින් ඉදිරිපත් වන නව ලිබරල්වාදය ධනේෂ්වර රාජ්‍ය තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට ව්‍යවස්ථාපිත ඒකාධිපති තන්ත‍්‍රයක් බිහි කිරීම, බහුජාතික සමාගම් අතර ඇති කරගත් සැලසුම්වලට ප‍්‍රමුඛතාවය ලබා දීම, අන්තර්ජාතික සහ කලාපීය ගිවිසුම්වලින් ජාතික රාජ්‍යවල සීමාව ඉක්මවා ප‍්‍රාග්ධනය හැසිරවීමට හැකි වීම වැනි නව ලිබරල්වාදී දේශපාලන සහ ආර්ථික උපාය මාර්ගයන් හරහා සිය ආධිපත්‍යය ලෝකය පුරා හැසිරවීමට නව ලිබරල්වාදයට හැකිවී තිබේ. මෙහිදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නව අධිරාජ්‍යවාදය දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය ව්‍යාපෘති හරහා නව ලිබරල්වාදය ව්‍යාප්ත කිරීමට ප‍්‍රබල කාර්යයභාරයක් ඉටු කරනු ලබයි. මේ අනුව ලෝක සමාජ සන්දර්භය තුළ එකිනෙකට සම්බන්ධව ගොඩනැඟුණු සිදුවීම් රාශියක ප‍්‍රතිඵලයක් වශයෙන් නව ලිබරල්වාදය ඉස්මතු වන බව පැහැදිලි කළ හැකිය.

https://thanujasociology.blogspot.com/2019/05/blog-post.html

Wednesday, November 14, 2018

මහා සංස්කෘතියේ උපකුලකයක් වන ධීවර උපසංස්කෘතිය


සමාජය සහ සංස්කෘතිය අතර අවියෝජනීය සම්බන්ධතාවයක් පවතින අතර යම්කිසි සමාජයක ජීවත්වන සාමාජිකයන්ගෙන් බහුතරය විසින් දැනනියම කර ගත්තා වූ ජීවන රටාව ප‍්‍රධාන සංස්කෘතිය හෙවත් මහා සංස්කෘතිය ලෙස හැඳින්විය හැකිය. එම මහා සංස්කෘතියට බාධාවක් නොවන ආකාරයට මෙන්ම එම මහා සංස්කෘතියෙන් පැහැදිලිව වෙනස් වූ කණ්ඩායමක හැසිරීම් රටාව උපසංස්කෘතිය ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව උපසංස්කෘතිය යනු මහා සංස්කෘතිය නැමති කුලකයට අඩංගු උපකුලකයක් වැනිය.

කිසියම් උප සංස්කෘතියක් බිහිවීම කෙරෙහි අදාළ කණ්ඩායම හෝ සමූහය මහා සමාජයෙන් වෙන්වී පැවතීම, කණ්ඩායමේ සියලූ දෙනාම සමාන කාර්යයක නිරත වීම, කණ්ඩායමේ එකිනෙකා අතර අන්තර් ක‍්‍රියා පැවැත්වීම යනාදී නිර්ණායක කීපයක් බලපානු ලබයි. සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් අවධානය යොමු කිරීමේදී භාෂාව, ආගම, වාර්ගිකත්වය, කුලය, ප‍්‍රාදේශික විවිධත්වය, අධ්‍යාපනය, රැකියාව, ගිහි පැවිදි භේදය, ග‍්‍රාමීය නාගරික බව සහ ස්ත‍්‍රී පුරුෂභාවය වැනි සාධක පදනම් කරගෙන විවිධ උපසංස්කෘතීන් බිහිව ඇති බව විද්‍යමාන වේ. ශ‍්‍රී ලංකා සංස්කෘතිය තුළද එවැනි සාධක හේතු කරගෙන විවිධ උපසංස්කෘතීන් බිහිව ඇති අතර විශ්වවිද්‍යාල උපසංස්කෘතිය, කර්මාන්තපුර උපසංස්කෘතිය, ධීවර ප‍්‍රජාවගේ උපසංස්කෘතිය, භික්ෂු උපසංස්කෘතිය, යාචක උපසංස්කෘතිය, නාගරික මුඩුක්කු උපසංස්කෘතිය සහ හමුදා උපසංස්කෘතිය ඒ සඳහා නිදසුන් සපයයි. මෙම එක් එක් උපසංස්කෘතීන්ට ආවේණික හැසිරීම් රටාවන් දක්නට හැකි බව සමාජ විග‍්‍රහය තුළින් පැහැදිලි වේ. එබැවින් මෙම ලිපියෙන් සංස්කෘතිය සහ උපසංස්කෘතිය යන සංකල්ප පිළිබඳව හඳුනා ගනිමින් ධීවර උපසංස්කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කෙරේ.

සංස්කෘතිය පිළිබඳව සමාජ හා මානව විද්‍යාඥයන් විසින් විවිධ නිර්වචන සහ අදහස් ඉදිරිපත් කර තිබේ. බි‍්‍රතාන්‍ය මානවවිද්‍යාඥයෙකු වන ඊ.බී.ටයිලර් විසින් සිය Primitive Culture (ප‍්‍රාථමික සංස්කෘතිය) නම් ග‍්‍රන්ථයේ සංස්කෘතිය නිර්වචනය කර ඇත. එම නිර්වචනයට අනුව "සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගෙන ඇති දැනුම, විශ්වාස, කලා, සදාචාර, නීතිරීති, සිරිත් විරිත් හා අනෙකුත් හැකියාවන්ගේ සංකීර්ණ සමස්තය සංස්කෘතිය" වේ  (Tylor, 1871). ටයිලර් දක්වා ඇති ආකාරයට සංස්කෘතිය විවිධ අංශවලින් සමන්විත සංකීර්ණ වූවකි. එම අංග එකිනෙකට වෙන් කර සංස්කෘතියක් හඳුනාගත නොහැකිය. එය පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමෙන් ඉගෙන ගන්නා අතර හැසිරීම් රටාවේ  ඕනෑම අංගයක් සංස්කෘතියේ කොටසක් වශයෙන් සලකනු ලබන්නේ එය සමාජයේ බහුතරයක් විසින් පිළිගැනීමෙන් පසුවය. මේ අනුව සංස්කෘතිය යනු පුළුල් අර්ථයක් අන්තර්ගත සංකල්පයක් වශයෙන් හඳුනාගත හැකිය.

සමාජීයවිද්‍යා විශ්වකෝෂයට අනුව "සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමි කර ගත්තා වූද, පාරම්පරික වශයෙන් අත්පත් කොට ගත්තා වූද, සියලූම චර්යා රටාවන්ට දිය හැකි සාමූහික නාමය සංස්කෘතිය වේ" (හේමන්ත, 2006). මෙම නිර්වචනයට අනුව සමාජීය සත්වයෙකු වශයෙන් මානවයා විසින් සිදු කරන හැසිරීම් රටාව සංස්කෘතිය වේ. මෙහිදී සංස්කෘතික සංකේතවලට වැදගත්කමක් හිමි වන අතර පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමේ රටාවක් පවතින බවද දක්නට ලැබේ. 

උපසංස්කෘතිය පිළිබඳව විද්වතුන් විසින් විවිධ නිර්වචන සහ අදහස් දක්වා ඇත. ලෙවින්ගේ නිර්වචනයට අනුව "උපසංස්කෘතියක් යනු යම්කිසි අවබෝධයන් සමූහයක් සහ හැසිරීම් රටා සමූහයකි. මේවා තුළින් යම්කිසි ප‍්‍රාදේශීය, ජනවාර්ගික හෝ රැකියාවකට අයිති කණ්ඩායමක් සමාජයේ අනෙකුත් සාමාජිකයන්ගෙන් වෙන් කොට දක්වයි. ඇල්බට් කොහෙන් ඔහුගේ Delinquent Boys නම් කෘතියේ අදහස් දක්වන ආකාරයට "උපසංස්කෘතිය යනු එකම සංස්කෘතික රාමුවකට අනුගත වූ එක සමාන විශ්වාස හා ක‍්‍රියාකලාපයන් බෙදාහදා ගන්නාවූ පිරිසක් තුළ ඇති වන අන්තර් ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් වශයෙන් බිහි වන්නකි" (Cohen, 1955). මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් උපසංස්කෘතිය නිර්වචනය කරන ආකාරයට "සමාජයක් ඇතුළත බොහෝ අනුකොටස් දක්නට ඇති අතර එම අනුකොටසට පමණක් සුවිශේෂී වූ ජීවන රටාව උපසංස්කෘතියක්" වේ (රත්නපාල, 2001). මෙම නිර්වචනයට අනුව උපසංස්කෘතිය තුළ සිටින සාමාජිකයන් ප‍්‍රධාන සමාජයේ සංස්කෘතිය පිළිගන්නා අතර ඔවුන්ට සුවිශේෂී අංගවලටද අනුගත වේ.

ශ‍්‍රී ලංකා සමාජය තුළ රැකියාව පදනම් කරගනිමින් උපසංස්කෘතික හැසිරීම් රටාවන් පෙන්නුම් කරන කණ්ඩායමක් වශයෙන් ධීවර ප‍්‍රජාව හඳුනාගත හැකිය.

විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිතව ධීවර කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ධීවර කාර්මිකයින් තුළ ඔවුන්ට ආවේණික සංස්කෘතියක්, හැසිරීම් රටා පද්ධතියක් දක්නට ලැබේ. ඔවුන් ස්වභාවික භූ ලක්ෂණවල බලපෑම සහිතව සෙසු ප‍්‍රදේශවල ජනතාවගෙන් වෙනස් වූ ජීවන රටාවක් අනුගමනය කරනු ලබයි. ඔවුන්ගේ ජන ජීවිතය මුහුද හා බැඳී පවතින හෙයින් කතා කරන භාෂා රටාවන්ද වෙනස් වේ. කහඳගමගේ (2004) දක්වන ආකාරයට ධීවර සංස්කෘතිය තුළ වෘත්තීය ගෞරවය, භක්තිය, අමනුෂ්‍ය බලවේග කෙරෙහි ඇති බිය වැනි හේතු සාධක මත පරිමිත භාෂා ස්වරූපයක් නිර්මාණය කරගෙන ඇත. ඒ අනුව ධීවර කටයුතු සිදු කිරීමේදී ඒ හා බැඳුණු වචන මාලාවක් භාවිත කරනු ලබයි. පොදුවේ භාවිත කරන භාෂා ව්‍යවහාරයන්ට අමතරව රැකියාවේ ස්වභාවය අනුව එනම් මාදැල් රැකියාව, කට්ටුදැල් රැකියාව යනාදී වශයෙන් රැකියාවේ ස්වභාවය අනුවද වෙනස් භාෂා රටාවන් භාවිතයට එක්වී තිබේ. පහත දැක්වෙන්නේ එසේ භාවිත කරන වචන කීපයකි.

·        ඉයත්තුව- කාලගුණය
·        මාළු අයින- මාළු රංචුව
·        මාරියාව- මුහුද මැද දරුණු රැළි ගැසීම
·        දියඹ- මුහුද
·        දිය අත- මුහුදු රළ ගමන් කරන දිශාව
·        ගඟුලාව- වැස්ස
·        වාරකං- මුහුද සැර කාලය
·        වඩදිය- මුහුදු මට්ටම ඉහළ යාම
·        බාදිය- මුහුදු මට්ටම පහත යාම
·        දියාළුව- යාත‍්‍රාව තුළට එන ජලය ඉවත් කරන උපකරණය
·        වළාලය- මුහුදේ රළු බව අඩුවී සාමාන්‍ය තත්ත්වයට පත්වීම
·        වල්කෙළ- දියඹේ පිහිටි ගල් පර්වත, මත්ස්‍ය වාසස්ථාන
·        වැහි කෝඩය- වහින ලකුණු
·        මා ඉක්කන්- සවස් කාලයේ මුහුදු යාම
·        පැස- මාළු දමන කූඩය
·        ලෙල්ලම- මාළු විකුණන ස්ථානය

ධීවර භාෂාව තුළද ප‍්‍රාදේශීය උපභාෂාත්මක ලක්ෂණ දක්නට ලැබේ. එකී විෂමතාවයන් දකුණ, බස්නාහිර වශයෙන් හඳුනා ගන්නා ප‍්‍රධාන උපභාෂාත්මක කලාප තුළ පමණක් නොව එම එක් උපභාෂාත්මක කලාපයක් තුළ වුවද දක්නට ලැබීම විශේෂ ලක්ෂණයකි. 

ධීවර භාෂාව තුළින් ධීවර ප‍්‍රජාවගේ විශ්වාස පද්ධතිය යම්තාක් දුරකට හෙළිවේ. ඔවුන් තුළ විවිධ අභිචාර දක්නට හැකි අතර දකුණේ ධීවරයන් අතර පවතින විශ්වාසයක් වන්නේ කළුවාදී යාලූවා පිළිබඳ ඇදහීමයි. මුහුදු යන ධීවරයින්ට මසුන් අල්ලා දෙන අමනුෂ්‍ය බලවේගය ලෙස සළකා විවිධ පිළිවෙත් අනුගමනය කරනු ලබයි. සාම්ප‍්‍රදායික ධීවරයින් සතුව මෙවැනි චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳව අවබෝධය සහ දැනුම පවතී. එමෙන්ම මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කාර්මිකයින් මුහුදු යාමට පෙර සිය ආගම සිහි කර ගන්නේ ඒ තුළින් ඔවුන්ට ආරක්ෂාව සැලසෙන බව විශ්වාස කරන හෙයිනි. සාම්ප්‍රදායික අවධියේ සිට මේ දක්වා පහුරු, ඔරු, වල්ලම්, තෙප්පම් සහ විශාල යාන්ත්‍රික බෝට්ටු ආදී විවිධ යාත්‍රා උපයෝගී කර ගනිමින් ධීවර කර්මාන්තයේ නිරත වේ. 

මත්ස්‍ය බිම්වල සිටින මසුන් අල්ලා ගැනීමට කරක්ගෙඩිය, බිලීපිති, දැල් සහ අතංගු වැනි උපකරණ භාවිත කෙරේ. නොගැඹුරු මුහුදේ පමණක් නොව ගැඹුරු මුහුදේ ද ධීවර කටයුතු සිදු කරමින් මත්ස්‍ය සම්පත් නෙළා ගනියි. ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා ගමන් කරන යාත්‍රා බහු දින ධීවර යාත්‍රා නමින් හැඳින්වෙන අතර එවැනි ධීවර කාර්මිකයින්ගේ ජීවන රටාවද සුවිශේෂී වේ. ඔවුන් දින සති ගණන් එක දිගට ධීවර කටයුතුවල නිරත වේ. දියඹට යාත්‍රා කොට අල්ලා ගන්නා මසුන් අලෙවි කොට ආදායම බෙදා ගන්නා ජීවන රටාවකට ඔවුන් හුරු වී සිටියි. 

මේ ආකාරයට ධීවර ප‍්‍රජාවට ආවේණික උපසංස්කෘතියක් බිහිවී ඇති අතර එය මහා සංස්කෘතියෙන් බොහෝ දුරට වෙනස් වේ. ශ‍්‍රී ලංකාවේ ධීවර ප‍්‍රජාව සතුව පවතින උපසංස්කෘතික ලක්ෂණ ඔවුන්ගේ රැකියාව පදනම් කරගෙන නිර්මාණය වූවක් බව පැහැදිලි වේ. සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් ධීවර ප්‍රජාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඔවුන්ගේ සමාජ සංස්කෘතික පැතිකඩ පිළිබඳ අවබෝධය වැදගත් වනු ඇත. 








Thursday, November 1, 2018

සංවර්ධන ක‍්‍රියාවලියේදී සහභාගිත්ව සංවර්ධන එළඹුම වැදගත් වන්නේ ඇයි?



                                                             සහභාගිත්ව සංවර්ධනය 

වර්තමාන ලෝකය දැවැන්ත සංවර්ධන ක‍්‍රියාවලියකට අවතීර්ණ වී ඇති අතර එය මානව සමාජයේ සෑම දිශාවකටම පාහේ ක‍්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එහිදී සංවර්ධිත රටවල් පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවල්ද වේගවත් සංවර්ධනයක් අපේක්ෂාවෙන් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ක‍්‍රියාවට නංවනු ලැබේ. කාලානුරූපීව ගොඩ නැඟුණු සංවර්ධනය පිළිබඳ විවිධ ක‍්‍රමවේදයන් අතරින් සහභාගිත්ව සංවර්ධන එළඹුමට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. ඒ අනුව මෙම ලිපියෙන් සහභාගිත්ව සංවර්ධනයේ ආරම්භය, අරමුණු සහ සංවර්ධනයේදී වැදගත් වන ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කෙරේ.

සංවර්ධනය පිළිබඳ විවිධ කතිකාවන් තුළ නූතනයේ වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව ඇති ක‍්‍රමවේදයක් වශයෙන් සහභාගිත්ව සංවර්ධනය හඳුනාගත හැකිය. ග‍්‍රීක යුගය දක්වා දිව යන සහභාගිත්ව සංවර්ධනය පිළිබඳ නූතන කතිකාව ගොඩ නැ‍ගෙන්නේ 1980 දශකයෙන් පසුවය. ආසියා, අප‍්‍රිකා සහ ලතින් ඇමෙරිකානු රටවල් අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයට ලක්ව පැවතීම හේතුවෙන් බොහෝ රටවල ස්වදේශීය ආර්ථිකය බිඳ වැටුණු අතර ප‍්‍රාදේශීය අසමානතාව, දරිද්‍රතාවය, සම්පත් හිඟකම සහ විරැකියාව වැනි සමාජ ප‍්‍රශ්න උද්ගත විය. මේ හේතුවෙන් අලූතින් නිදහස ලබා ගත් රටවල් වේගවත් සංවර්ධනයක් අපේක්ෂාවෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලදි. මෙම අවධියේ සංවර්ධනය වශයෙන් හඳුනා ගනු ලැබුවේ යටත්විජිත මව් අධිරාජ්‍යයන් විසින් අත්පත් කරගෙන සිටි ඉහළ ආර්ථික වෘද්ධියක් අත්පත් කර ගැනීමේ ක‍්‍රියාවලියයි. නමුත් මේ සඳහා අවශ්‍ය තාක්ෂණය හෝ ප‍්‍රාග්ධනය නොපැවති තුන්වල ලෝකයේ රටවල් සංවර්ධිත රටවල ණය, ආධාර සහ තාක්ෂණය මත රඳා පැවතුණි. සංවර්ධිත රටවලින් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් හඳුන්වා දුන් යුරෝපා කේන්ද්‍රීය සංවර්ධන ප‍්‍රතිපත්තිය ඉහළ සිට පහළට ගලා යන්නක් විය. සංවර්ධන ක‍්‍රියාදාමයේ වැඩසටහන් සැලසුම් කිරීම, ක‍්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසු විපරම යන ව්‍යාපෘති චක‍්‍රයේ සෑම අදියරක් තුළදීම දක්නට හැකි වූයේ එම ඉහළ සිට පහළට ගලා යන ප‍්‍රවේශයයි.

යුරෝපා කේන්ද්‍රීය සංවර්ධන ආකෘතිය තුළ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තීරණ ගනු ලැබුවේ ප‍්‍රජාවට පරිබාහිර පුද්ගලයන් හෝ ආයතන වෙතිනි. එබැවින් 1970 දශකයේ සංවර්ධනය පිළිබඳ යුරෝපා කේන්ද්‍රීය ආකෘතිය විශාල වශයෙන් විවේචනයට ලක් විය. ප‍්‍රජාවගේ අවශ්‍යතා නියෝජනය නොවීම, දේශීය දැනුම සහ සම්පත් නොසළකා හැරීම සහ ප‍්‍රජාව ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් වශයෙන් නොව ප‍්‍රතිලාභීන් වශයෙන් පමණක් සැළකීම යනාදී ලක්ෂණ හේතුවෙන් බොහෝ සංවර්ධන වැඩසටහන් අසාර්ථක වීම හේතුවෙන් ප‍්‍රජා සහභාගිත්වයෙන් දත්ත රැස් කර විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමයක අවශ්‍යතාවය පැන නැඟුණි. එනම් ප‍්‍රජාව පාර්ශවකරුවන් වශයෙන් සැළකෙන පහළ සිට ඉහළට සිදු වන සංවර්ධන ක‍්‍රියාවලියක අවශ්‍යතාවයයි. එවැනි ක‍්‍රමවේදයක අවශ්‍යතාවය පෙන්වා දුන් චින්තකයන් අතර රොබට් චේම්බර්ස් හට වැදගත් ස්ථානයක් හිමිවේ. රොබට් චේම්බර්ස් ඔහුගේ"Putting the last first"නම් කෘතියේ සංවර්ධනය බිම් මට්ටමේ සිට ඉහළට ගමන් කළ යුතු බව පෙන්වා දුන් අතර විශේෂයෙන් ග‍්‍රාමීය සංවර්ධනයේදී බිම් මට්ටමේ ප‍්‍රජාවන් තුළින් සංවර්ධන එළඹුමක් ගොඩනැඟිය යුතු බව පෙන්වා දෙයි. බටහිර කේන්ද්‍රීය සංවර්ධන එළඹුම ප‍්‍රජාවගේ හඬ නියෝජනය නොවීම සහ දුප්පතුන් බහිස්කරණය වීම වැනි හේතූන් මත අගතිගාමී ප‍්‍රවේශයක් වශයෙන් සළකන ලදි. මේ අනුව ප‍්‍රජා සංවර්ධනයේදී සහභාගිත්ව සංවර්ධන එළඹුම ජනප‍්‍රිය එළඹුමක් වශයෙන් සමාජගත විය.

රොබට් චේම්බර්ස් සහභාගිත්ව සංවර්ධනය නිර්වචනය කරන්නේ ”සංවර්ධන ප‍්‍රතිපත්ති සහ උපාය මාර්ග සැලසුම් කිරීම, ක‍්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසු විපරම යන සංවර්ධන ක‍්‍රියාකාරකම්වලදී සියලූ පාර්ශවකරුවන්ගේ ක‍්‍රියාකාරිත්වය සහ සමාන මැදිහත්වීමේ ක‍්‍රියාවලිය” වශයෙනි. මේ තුළින් පැහැදිලි වන්නේ සංවර්ධන ක‍්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා සෑම පියවරකදීම සියලූ පාර්ශවකරුවන්ගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය වැදගත් වන බවයි. මෙම ප‍්‍රවේශයේදී සංවර්ධන ක‍්‍රියාධරයන් විපර්යකාරකයන් බවට පත්වන අතර ප‍්‍රජාවට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. සහභාගිත්ව සංවර්ධන ක‍්‍රමවේදය තුළ ප‍්‍රතිලාභීන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, දේශීය සම්පත් සහ තාක්ෂණය උපයෝගී කර ගත හැකි වීම වඩාත් ඵලදායී වේ. එමෙන්ම ව්‍යාපෘතියේ ප‍්‍රතිඵල පිළිබඳ ප‍්‍රජාවට වගවීමක් පවතී. එබැවින් වර්තමානයේ බොහෝ සංවර්ධන වැඩසටහන්වලදී ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සහභාගිත්වය වැදගත් කොට සලකනු ලැබේ. සංවර්ධනය පිළිබඳ කටයුතු කරන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ රාජ්‍ය නොවන සංවිධාන වැනි අන්තර්ජාතික ප‍්‍රජාවන්ද වර්තමානයේ ඔවුන්ගේ ව්‍යාපෘති තුළින් ප‍්‍රජා සහභාගිත්වයට වැදගත් ස්ථානයක් ලබා දෙන්නේ ඒ තුළින් තිරසාර සංවර්ධන සංවර්ධන අභිමතාර්ථ කරා ළඟා වීමට පහසු හෙයිනි.

සහභාගිත්ව සංවර්ධන ක‍්‍රියාවලියේදී දත්ත රැස් කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමවේදයන් ප‍්‍රජාව මූලික කොටගෙන සිදු වන අතර එවැනි ක‍්‍රමවේද රාශියක් හඳුනාගත හැකිය. හරස්කඩ චාරිකා, දෛනික කාල භාවිතය විශ්ලේෂණය, වත්පොහොසත්කම් තාරාකරණය, දින දර්ශන භාවිතයෙන් ක‍්‍රියා විශ්ලේෂණය, වෙන් රූප සටහන්, ඓතිහාසික සිද්ධීන් විශ්ලේෂණය, සහභාගිත්ව සිතියම්කරණය සහ ආදර්ශක නිරූපණය වැනි ක‍්‍රම ශිල්ප භාවිතයෙන් දත්ත රැස් කිරීම මෙන්ම විශ්ලේෂණය කරනු ලැබේ. මේ තුළින් ස්වභාවික සම්පත් ව්‍යාප්තිය සහ භාවිතය මෙන්ම ප‍්‍රජාවගේ සමාජ ආර්ථික තොරතුරුද අනාවරණය කරගත හැකිය. සහභාගිත්ව සංවර්ධනය පිළිබඳ එළඹුම සංවර්ධනයට අවශ්‍ය තොරතුරු රැස් කිරීමේදී පමණක් නොව ගැටලු හඳුනා ගැනීම, සැලසුම් සම්පාදනය, ක‍්‍රියාත්මක කිරීම සහ ඇගයීම යන අවස්ථාවන්හිදී ද වැදගත් වේ.

සහභාගිත්ව සංවර්ධන එළඹුමෙහි අපේක්ෂිත අරමුණු ගණනාවක් පවතින අතර ප්‍රධාන කරුණු පහත ආකාරයට පෙන්වාදිය හැකිය.


වර්තමානය වන විට කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය, ස්වභාවික සම්පත් කළමනාකරණය, පරිසර සංරක්ෂණය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ධීවර ක්ෂේත‍්‍රය ආදී සෑම ක්ෂේත‍්‍රයකම පාහේ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීමේදී, සැලසුම් කිරීමේදී මෙන්ම ඉදිරියට නඩත්තු කරගෙන යාමේදී සහභාගිත්ව සංවර්ධනය උපයෝගී කරගන්නා ආකාරයක් දක්නට හැකිය. එයට හේතුව ප‍්‍රජාව ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් බවට පත්වීම අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීම පහසු කරවීමයි.

සහභාගිත්ව සංවර්ධනය ජනප‍්‍රිය එළඹුමක් වුවද විවිධ චින්තකයින් විසින් මෙහි පවතින සීමාකම් හේතු කොටගෙන විවේචන එල්ල කර ඇත. නිළධාරීන් හා ප‍්‍රජාව අතර මෙන්ම ප‍්‍රතිලාභීන් අතරද ගැටුම් ඇති කරවීම, පහළ සිට ඉහළට ගමන් කරන ක‍්‍රියාවලිය හරහා අනවශ්‍ය ලෙස ප‍්‍රමාදයට ලක් වීම, ප‍්‍රජා මට්ටමේ ප‍්‍රභූන් වැඩි වශයෙන් ඉලක්ක වීම සහ ඔවුන්ට ව්‍යාපෘති පාලනය කිරීමට හැකියාව ලැබීම සහ සමාජ සංස්කෘතික වශයෙන් පවතින ආකල්ප තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට නිෂේධනාත්මකව බලපෑම වැනි විවේචන ඉදිරිපත් කර ඇත. එහෙත් සහභාගිත්ව සංවර්ධනය වර්තමානය වන විටත් සංවර්ධන ක‍්‍රියාවලියේදී වැදගත් එළඹුමක් වශයෙන් පිළිගනු ලැබේ. එබැවින් ප්‍රජාව වෙත ප්‍රතිලාභ ගලා යාම සඳහා ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අගතීන්ගෙන් මිදී ප‍්‍රජාවේ සහභාගිත්වය ලබා ගැනීම වැදගත් වේ.